(ඩයනා උදයංගනී)

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකිරීම සිදුවූ පොසොන් පුර පසළොස්වක පෙහෝ දිනය අදට (14) යෙදී ඇත.

පොහොය ලැබීම ඊයේ (13) රාත්‍රී 9.03 ට සිදුවන අතර පොහොය ගෙවෙන්නේ අද (14) සවස 5.21 ටය.

මෙවර ජාතික පොසොන් උත්සවය අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

“දේශය මිත්‍යාවෙන් මුදා ගනිමු” යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබේ. පසුගිය දෙවසරෙහි කොරෝනා වසංගත තත්වය හේතුවෙන් හා ඊට පෙර 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් නිවෙස්වල සිටම පොසොන් පොහෝ දින ආගමික වතාවත්වල නිරත වූ බොදු ජනතාවට මෙවර වෙහෙර විහාරස්ථානයන්ට ගොස් ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමේ අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව පොසොන් පොහෝ දිනයේදී අනුරාධපුර අටමස්ථානය ආදී ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවීමට බොහෝ දෙනා දැඩි උනන්දුවක් දක්වන අයුරු දක්නට ලැබේ. පොසොන් වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය පවා යොදවා ඇති අතර, එම දුම්රියන්හි අනුරාධපුරය දක්වා ගමන් කිරීමට මගීන් විශාල ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් දැඩි තදබදයක් ද ඇතිව තිබේ.

විදුලි අර්බුදය හේතුවෙන් පොසොන් පොහෝ දිනයේදීත් විදුලි කප්පාදුවක් සිදුවන අතර, ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන ප්‍රදේශවල ද අඛණ්ඩව විදුලිය ලබා දීම සිදුවන්නේ පුජා භුමිවල විශේෂ ආගමික වතාවත් සිදුකෙරෙන ස්ථානවලට පමණක් බව ද සඳහන් වී ඇත.

පොසොන් පොහෝ දිනයේදී පෙර වසරවල තරම් නැතත් මෙවර ද දන්සැල් සංවිධානය කර තිබේ.

මීට පෙර වසරවල ජාතික පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර නගරයේ දන්සල් 200ක් පමණ පැවැත්වෙන නමුත් මෙවරලියාපදිංචි වී ඇත්තේ දන්සල් 15 ක් පමණක් බව වාර්තා වේ. පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ජිවිත ආරක්ෂක සේවාවක් ද ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කර ඇත.

නගරයේ සනීපාරක්ෂාව තහවුරු කිරීමට සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් ද නගර සභාව සහ පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව සැලසුම් කර තිබේ.

අනුරාධපුර මහමෙවුනා උයන, සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානය, ථූපාරාමය හා මිරිසවැටිය යන ආගමික ස්ථාන ආශ්‍රිතව තොරතුරු මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම ද ජාතික පොසොන් උත්සවයට සමගාමීව සිදුකිරීමට නියමිතය.

මීට අමතරව සීමාසහිත විජය පුවත්පත් සමාගම ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී වාර්ෂිකව පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ මෙවරද පැවැත්වෙන අතර, එය ඊයේ (13) ආරම්භ විය.

ලංකාදීප පොසොන් ආලෝක පූජාව තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී අද (14) පස්වරුවේ ද පැවැත්වේ.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 


(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස) 


(ඡායාරූප: කිරි ආහාර පුඡාව-පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානය-එච් චන්දන) 


මුතියංගනය

(ජායාරැප: උපුල් හේරත්)