(ඩයනා උදයංගනී)

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (12) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත පැවතීම හේතුවෙන් මෙම තත්වය ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පළාත්වල සහ හම්බන්තොට, මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවල මිලි මීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.