(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතෙහි විධිවිධාන මගින් සුරාබදු සම්බන්ධයෙන් මෙතෙක් පැවති ක්‍රමවේදය ඉවත දමා එහි බලතල අමාත්‍යවරයාට ලබාදී ඇතැයි සුරාබදු සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා  අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම පනත් කෙටුම්පතෙහි විධි විධාන මඟිවිධාන මගින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලබා දී ඇති බලතල කප්පාදු කිරීමක් සිදුකර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

රජය විසින් පාර්ලිමේන්තුවට මෙම විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය කිරීම අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී මෙම විභාගය කැඳවිණි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සම්මේලනය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 10 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.