(යොහාන් භාසුර)

සමඟි ජනබලවේගය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාවට කොන්දේසි දෙකක් යටතේ සහයෝගය දැක්වීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (18) පස්වරුවේ පැවසීය.

විශ්වාසභංගය ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොවන බවට තහවුරු කරගැනීමට මන්ත්‍රීවරු 113 ක සහයෝගය තිබේ යැයි සහතික කිරීම සහ ආණ්ඩුව පරාජය කිරීමෙන් පසු පිහිටුවන අන්තර්කාලීන සර්ව පාක්‍ෂික ආණ්ඩුවට සහයෝගය දැක්වීම එම කොන්දේසි බවත් මන්ත්‍රීවරු 118 ක් සිටියදී හතරගාතයෙන් වැටී සිටින ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව පරාජය කළහොත් නැවත ශක්තිමත් වීම නිසා විශ්වාසභංගයක් විශ්වාසයෙන් ගෙනආ යුතු බවත් ගම්මන්පිල මහතා කීය.