(රෝෂන් තුෂාර)

රත්නපුරේ විමල බුද්ධි නොහොත් "විශ්ව බුද්ධි මුනි" නමින් පැවිදිව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන " ටික් ටොක්"  වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරී රොෂාන් රණසිංහට තරයේ අවවාද කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා  සැකකරු පෙර ඇප මත මුදා හැරීමට අද (29) නියෝග කළේය.

බුදු දහමට , සංඝයා වහන්සේලාට නිගා වන වීඩියෝ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන විවේචනය කරන ප්‍රකාශ කළහොත් ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කරමින් දන්වා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

සැකකරුට ඇප ලබාදීමේදී ඇප කොන්දේසියක් ලෙස මෙවන් වැරදි නොකරන ලෙසට නියෝග කර නොතිබූ හෙයින් සැකකරු එය උපයෝගී කර ගනිමින් යළි යළිත් අපහාසාත්මක වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමෙන් සිටින බව දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේය.

දිලිප පීරිස් මහතා මෙසේද පැවසීය.

රණසිංහ ආරච්චිලාගේ රොෂාන් මේනක රණසිංහ නම් මොහු 1998  උපත ලබා ඇති අතර 2019 වසරේදී කොලූපිටියේ අවරකීර්ති යන නමින් පැවිදි දිවයට පිවිසිලා තියෙනවා.එම වසරේදීම සිවුර හැර දමා සිංගප්පූරුවේ රැකියාවකට ගොස් ඇති සැකකරු යළි ලංකාවට පැමිණ රාමඤ්ඤ මහා නිකායේ පැවිදි භාවය ලබාගෙන තිබෙනවා.2020 වසරේ ජනවාරි මාසයේදී මොහුගේ ගිණුමට රුපියල්  විසිපන් ලක්ෂ අනු දෙලක්ෂයක මුදලක් බැර වී තිබෙන බවට තොරතුරු අනාවරණය වෙනවා.මොහුට විරුද්ධව නඩු කටයුත්තක් ආරම්භ වූ බැවින්  ගිණුම්වල මුදල්  යළි ලබාගෙන තිබෙනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයා  වෙනුවෙන් ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත ද අල්විස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ රාමඤ්ඤ මහා නිකාය මගින් පසුගිය දහවෙනි දිනයේ සිට ඔහුගේ පැවිදි භාවය අහෝසි කර බවට දැනුම් දී ඇති බවය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති එස්.කේ.සේනාරත්න මහතා, පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එරන්ද තිබ්බොටුවාව මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියේය.

බෞද්ධ ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහයේ 290 හා298 වගන්ති  යටතේ ගැනෙන  වැරදි සම්බන්ධයෙන් සැකකරුට එරෙහි නඩුව මාර්තු 28 වෙනි දින කැඳවීමට නියමිතය.