(සුජිත් හේවාජුලිගේ )

වයස 63න්  පසු විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක් ඔවුන්ගේ කැමැත්ත මත කොන්ත්‍රාත් පදනම යටතේ නැවත සේවයට බඳවා ගැනීමට කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

මේ අනුව වෛද්‍යවරුන් පනහකට ආසන්න පිරිසක් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කිරීමට දැනටමත්  සම්බන්ධවී සිටින බවද ඔහු සඳහන් කළේය.

විශ්‍රාම ගිය වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීම  පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමේ පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව පැවසූ අමාත්‍යවරයා  මෙය වෛද්‍ය හිඟයට එක පිළියමක් පමණක් බවද ප්‍රකාශ කළේය.

මේ අතර විදේශීය පුහුණුවට ගිය වෛද්‍යවරුන් 600ක් පමණ නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් විශාල පිරිසක් විදේශයන්හි සේවයට යෑම හේතුවෙන්  මෙම පුරප්පාඩු ඇතිවිය.

වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රටපුරා බොහෝ රෝහල්වල  කටයුතුවලට  දැඩි බලපෑමක් එල්ලවී ඇත.