(අංජුල මහික වීරරත්න)

වලව කලාපයේ ගොවීන් 15,000ක් වගා කළ ඉඩම් අක්කර 16,500කට වගා හානි සිදු වී අතර ඒ සඳහා වන්දි වශයෙන් රජය රුපියල් මිලියන 3628ක් වෙන් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පසුගිය යල කන්නයේ  වී වගා කළ  අක්කර 65,000ක් නියඟය නිසා විනාශ වූ අතර ඉන්පසුව ඇති වූ වර්ෂාව නිසා අක්කර 11,000ක වී වගාව වීනාශයට පත්විය.

මේ අනුව සමස්ත වගා හානියට ලක්වූ කුඹුරු ප්‍රමාණය අක්කර 76,000ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 මේ සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් කෝටි 550ක්  වැය කිරීමට රජයට සිදුවී ඇතැයි ද, වගා හානි වන්දි සඳහා ලබා දෙන මෙම මුදල මෙතෙක් ඉතිහාසයේ රජයක් විසින් වෙන් කළ විශාලම මුදල වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  සඳහන් කළේය.

වලව - මහවැලි කලාපයේ ගොවි ජනතාවට වගා හානි වන්දි මුදල් ලබා දීම සඳහා ඇඹිලිපිටිය ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවේ දී පැවති  වන්දි ප්‍රදානොත්සවයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම අවස්ථාවට සහභාගී වූ වනජීවී හා වනසම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවෙි  මහින්ද අමරවීර මහතා  කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස නොසිටින්නට කිසි දිනෙක මේ වන්දි මුදල් මෙතරම් ඉක්මනට ලබා  ගන්නට හැකි වෙන්නේ නැති බවයි.