(නිමන්ති රණසිංහ)

මෙරට ඕනෑම පුරවැසියකුට කිසිදු ගෙවීමකින් තොරව වරාය නගරයට ඇතුළු විය හැකි බවත් එහි ආයෝජනය කිරිමටත් ඕනෑම වෙළෙද සැලකින් භාණ්ඩ මිලදී ගැනීමත් අවස්ථාව පවතින බවත් වරාය නගර ආර්තික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා අද (04) පැවසීය.

ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා මේ බව සදහන් කළේ “වරාය නගරය සහ අනාගත ආර්ථිකය” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මුදල් විශුද්ධීකරණයට කොළඹ වරාය නගරයේ දී කිසිදු ඉඩක් නොමැති අතර, එවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති බවත් එහි ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන බවත් ලේකම්වරයා සදහන් කළේය.

වරාය නගරයේ මූලික භෞතික ඉදිකිරීම් මේ වසර අවසානය වන විට නිමා කර පළමු අදියරේ වැඩ කටයුතු කිරීමේ හැකියාව ඇති බවත්, මේ වන විට මූල්‍ය කළමණාකරණය, බැංකු කටයුතු, ආයෝජන ලියාපදිංචි කිරීම් සහ අදාළ නිති රෙගුලාසි සම්පූර්ණ කර ඇති බවත් හෙතෙම පැවසීය.

වරාය නගරය කිසිවකුගේ දේශපාලන අවශ්‍යතා සදහා ඇති භූමියක් නොවන අතර එහි එකම අරමුණ වාණීජ්‍ය සහ වෙළෙද කටයුතු පමණක් බවත්, මෙමගින් මෙරට ආර්ථිකය වෙනස් කරන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති බවත් ඔහු සදහන් කළේය.