(නිමල කොඩිතුවක්කු)

වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීම අයිතිය මර්දනය කිරීමට රජයට කිසිදු අයිතියක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

රජය තුළ එවැනි සූදානමක් වෙත්නම් ඇතිවියහැකි අහිතකර ප්‍රතිවිපාක දෙස අවධානය යොමුකරවමින් හෝ එය හකුලා ගතයුතුව ඇතැයිද   ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීමේ අයිතිය ශ්‍රී  ලංකාවට අදාළව තහනම් කලයුතුය යන අදහසක් රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කිරීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බලවත් ලෙස අවධානය යොමු කරන්නෙමු. අධිකරණ අමාත්‍යවරයාගේ එම අදහස වත්මන් රජයේ අදහස ද වන්නේ නම් එය සැලකිය යුත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා වැඩකරන ජනතාවගේ නිදහසට එල්ල කිරීමට සූදානම් වන මාරක ප්‍රහාරයක් ලෙසටය.

ඒ අනුව අප රටේ සමස්ත වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි උත්සහයන් පරාජය කිරීමට කොන්දේසි විරහිතව එක්සත් වන ලෙසටය. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට සූදානම් වන අධිකාරීවාදී පාලකයන්ට එරෙහිව නැගී සිටින ලෙසටය. එමෙන්ම එවැනි උත්සහයන් සාධාරණීකරණය කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ගයන් හි නිරත වන ඊනීයා සංවිධාන හා ඒවායේ කුමන්ත්‍රණකාරී පිළිවෙත රටට හෙළිදරව් කරන ලෙසටය.