(යොහාන් භාසුර)

අධිවේගී මාර්ගවල මුදල් අයකරන සේවකයන් (මුදල් අයකැමියන්) පෙරේදා (22) පෙරවරුවේ සේවයෙන් ඉවත්වීමෙන් පසුව ත්‍රිවිධ හමුදාව යෙදවා මුදල් අයකිරීමෙන් රුපියල් දෙකෝටි දසලක්‍ෂයකට (21,044,755) අධික ආදායමක් ලැබුණු බව මාර්ග සංවර්ධන අධිකාරිය අද (23) නිවේදනය කළේය.

ආරක්‍ෂක අංශ සාමාජිකයන් පෙරවරු 9.00 ට පමණ මුදල් අයකිරීම ආරම්භ කර පස්වරු 7.00 දක්වා මෙම ආදායම ලැබූ බවත් ඒ අනුව සේවක වර්ජනය පැවතිය ද ආදායමේ වෙනසක් නොමැති බව එම අධිකාරිය සඳහන් කරයි.

මුදල් අයකැමියන්ගේ සේවයෙන් ඊට පෙර දින එනම් 21 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා රුපියල් දෙකෝටි තිස්ලක්‍ෂයකට (23,028,700) අධික ආදායමක් පමණක් ලබා ඇති බවත් පසුගිය බදාදා එනම් මේ මස 15 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා රුපියල් දෙකෝටි විසිලක්‍ෂයකට (22,877,500) අධික ආදායමක් පමණක් ලැබූ බවත් එම අධිකාරිය කීය.

මුදල් අයකැමියන්ගේ සේවය යටතේ 21 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා රුපියල් දෙකෝටි දසලක්‍ෂයකට (21,107,3500) අධික ආදායමක් ද, පසුගිය බදාදා මේ මස 15 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 7.00 දක්වා රුපියල් දෙකෝටි දසලක්‍ෂයකට (21,030,900) අධික ආදායමක් පමණක් ලැබූ බවත් එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියේ දෛනික ආදායමේ සාමාන්‍ය රුපියල් කෝටි දෙකහමාරක් පමණ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.