(වාරණ ආනන්ද ඉ ජයකොඩි)

තිදෙනෙකු ගෙන් යුතු කොල්ල කල්ලියක්  අද (30) පෙරවරුවේ උණගහදෙණියේදී ව්‍යාපාරිකයකුට පිස්තෝලයක් එල්ල කර  ඔහු  මරා දමන බවට තර්ජනය කර  ඔහු පදවා ගෙන පැමිණි ඩබල් කැබ් රථයක් පැහැර ගෙන ගොස් ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.

උණගහදෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු බිය ගන්වා මෙසේ කැබ්රිය පැහැරගෙන ගොස්තිබේ. කොල්ලකරුවන්  වාහනයකින් පැමිණියාද එසේ නැතිනම් පා ගමනින් පැමිණියාද යන්න හෙළි වී නැත.

සිද්ධිය සැලවූ විගස නිට්ටඹුව පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක්  එම ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පොලීසිය කීවේය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඕ පී අබේරත්න මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.