(ඩයනා උදයංගනී)

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනගිර, මධ්‍යම සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව, බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100 ට වැඩි තද වැසි සහ පොළොන්නරුව, මාතලේ දිස්ත්‍රික්කවල මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.