( කේ. බුද්ධික කුමාරසිරි බිමල් ශ්‍යාමන් සහ ගයාන් සූරියආරචිචි)


බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුල් වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු‍ මන්ත්‍රී විමල් වීරවංශ මහතාට හෙට  (22) දින උදෑසන 10 ට  පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස නියෝග ලිපියක් මගින් දැනුම් දුන් බව තලංගම පොලිසිය පවසයි.

මහනුවර බෝවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පහල වලව්වේ සෙනෙරත් බණ්ඩාර කොහොන නමැත්තෙකු විසින් තලංගම පොලිසියට සිදුකල පැමිණිල්ලක් පිලිබදව විමර්ශණ කටයුතු එදිනට සිදු කිරීමට නියමිත වේ.

අදාල දැනුම් දීමට අනුව වග උත්තරකාර විමල් වීරවංශ එදිනට පොලිසිය වෙත නොපැමිණියහොත් ලංකා දණ්ඩ නීති සංග්‍රහ නීති පනතේ 172 වගන්තියට අනුව දඩුවම් කිරීම සදහා ලබන 26 දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවද අදාල නියෝගයේ සදහන් වේ

අදාල සිද්ධිය සම්බන්ධයෙන් අයුතු ජන රාශිය, අයුතු ඇතුලු වීම සහ රාජකාරියට බාදා කිරීම යන චෝදනා යටතේ තලංගම පොලිසිය විසින්  ඊයේ  (20) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමක් ද සිදු කර තිබුණි