සුජිත් හේවාජුලිගේ

විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

මෙම බලපත්‍රය ලබාගෙන ඇතැයි පැවසෙන්නේ එම දේශපාලනඥයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ බිරියගේ නමට බව පැවැසේ.

එම කාන්තාව බිබිල ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවක බව ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් රිදීමාලියද්ද ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අලුකැටියාවේ සීලවංශ නාහිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ පැවැසුවේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙන් මෙම මත්පැන් බලපත්‍රය ලබාදී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බවයි.

මේ පිළිබඳව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දැනටමත් පැමිණිලි කර ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළේය.

රිදීමාලියද්ද යනු ලංකාවේ දෙවැනියට දුප්පත්ම නගරය බව පැවසූ උන්වහන්සේ මෙවැනි නගරයකට අවශ්‍ය වන්නේ ජනතාව දුප්පත්කමින් ගොඩදාන මාර්ගයක් මිස මත්පැන් අලෙවිසල් නොවන බව ද සඳහන් කළේය.