(අංජුල මහික වීරරත්න)

අවශ්‍ය නිවැරදි තීරණ අවශ්‍ය මොහොතේ  ගත්තා නම් උඩවලවේ ගොවීන්ට මෙම හානිය සිදුවන්නේ නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කණ්ඩායමක් විදියට එකට කටයුතු නොකිරීමත් මෙම විනාශයට හේතුවූ බව තමා බය නැතිව ප්‍රකාශ කරන්නේ යැයිද අමාත්‍යවරයා කීය.  

මෙම වර්ෂය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ගෙවීමට සිදුවන වසර ලෙස ඉතිහාසගත වනු ඇතැයි ද  මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ වනවිට මුළු රටම නියඟය විසින් ගිල ගෙන තිබෙන අතර රටට අවශ්‍ය සහල් නිපදවීමට වැඩිම දායකත්වය සපයන උඩවලවේ කලාපයේ අක්කර 65,000කට ජලය හිඟකම බලපා ඇතැයි අමාත්‍යවරයා කීය.

උඩවලව කලාපය යනු වැඩිම සහල් ප්‍රමාණයක් ලබා දෙන හොඳම කුඹුරු තිබෙන කලාපය බවද  එහි කුඹුරු විනාශ වෙන හැටි අපිට බලාගෙන ඉන්න සිදු වී තිබෙන බව ද අමරවීර මහතා කීය. 

දැනට කර තිබෙන තක්සේරු අනුව  අක්කර 39,000ක් නියඟය නිසා විනාශ වී තිබෙන බව කී අමාත්‍යවරයා  මෙම ප්‍රමාණය දිනෙන් දිනම වැඩි වෙන බවද තක්සේරු කිරීම් අවසන් වනවිට  වගා හානි ප්‍රමාණය අක්කර 50,000 ඉක්මවනු ඇතැයිද සඳහන් කළේය.

 බංකොලොත් වෙච්ච රටේ වන්දි ගෙවීමත් පහසු දෙයක් නොවන බව පැවැසූ අමාත්‍යවරයා රටේ මුදල් අර්බුදයක් තිබුනත් ගොවිතැනට වන්දි මුදලක් ලබා දිය යුතුය යන මතයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයම සිටින බව කීය.

 මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති ගොවීන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දීම සඳහා පියවර ගනු අැතැයිද  අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

රත්ගම පන්විල තරුණ කෘෂිව්‍යවසායකත්ව ගම්මානයේ  කෘෂිකාර්මික වැඩ සටහන්  අරඹමින්  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.