(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17) රාත්‍රී පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී බී - ලව් කැන්ඩි ක්‍රීඩකයෝ ලකුණු 61 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ.

මීට පෙර පැවැති එල්.පී.එල්. තරගාවලි තුනේම ශූරතාව දිනූ ජැෆ්නා කිංග්ස් පිල මෙවර තරගාවලියෙන් ඉවතට විසිවීම කැපී පෙනුණි. කැන්ඩි පිල සහ පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් පරාජයට පත්වූ ගෝල් ටයිටන්ස් පිල අතර අවසන් පූර්ව තරගය අනිද්දා (19) පැවැත්වේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කය හඹාගිය ජැෆ්නා පිල ඕවර 17.2 කදී ලකුණු 127 කට සීමා විය.

කැන්ඩි පිලේ නායක වනිදු හසරංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 9 කට කඩුලු 6 ක් දවාගැනීමට සමත් විය. කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු මොහොමඩ් හාරිස් පන්දු 49 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 79 ක් රැස්කරමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත්විය.

දිනේෂ් චන්දිමාල් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 24 කින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 41 ක් රැස්කරමින් කැන්ඩි පිලේ ලකුණු වේගය ඉහළ නැංවීය. බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 188 (මොහොමඩ් හාරිස් 79, දිනේෂ් චන්දිමාල් 41, වනිඳු හසරංග 19, කමිඳු මෙන්ඩිස් 17, අසීෆ් අලී 15, නුවන් තුෂාර 40/4, මහීෂ් තීක්‍ෂණ 37/2, අසේල ගුණරත්න 41/2) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 17.2 කදී සියලු දෙනා දැවී 127 ( රහමනුල්ලා ගුර්බාෂ් 19, ක්‍රිස් ලීන් 19, ෂොයිබ් මලික් 31, ඩේවිඩ් මිලර් 26, වනිදු හසරංග 9/6)