තරිඳු ජයවර්ධන
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගය අද (25) පැය 10ක් පුරා කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
මානව හිමිකම් කොමිෂන් සභා පැමිණිලි විභාගයකදී මෑත කාලයේ එකම දිනක වැඩිම කාලයක් ගත් විමර්ශනය මෙය බව කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
එම කොමිෂන් සභාවෙන් ලද නොතීසි අනුව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ද, ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක මහතා ද, පළාත් සභාවේ මාධ්‍ය නිලධාරීහු දෙදෙනෙක් ද අද (25) කොමිසම හමුවේ පෙනී සිටියහ. බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් රණසිංහ මහතා විමර්ශනයට සහභාගී නොවූ අතර තමාට මැතිවරණ රාජකාරි නිසා සහභාගී විය නොහැකි බව ඔහු අද පස්වරු තුනට පමණ මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබිණි. බදුල්ලේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ද සහභාගී වී නොසිටි අතර ඔහු නියෝජනය කරමින් පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණ සිටියේය.
පැමිණිලි පාර්ශ්ව නියෝජනය කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහත්වරුන් සහභාගී වූ අතර වින්දිත පාර්ශ්වය ලෙස දණගැස්වීයැයි කියන විදුහල්පතිනියන ආර් භවානි මහත්මිය පැමිණ සිටියාය.
ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තාවක් පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මුලින්ම විමර්ශනයක් ආරම්භ කළ බවත්, ඒ අනුව මීට පෙර විදුහල්පතිනියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත් බවත්, ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සහ කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහත්වරුන් කළ පැමිණිලි ද විමර්ශනයේ දී පදනම් කර ගත් බවත් විමර්ශන අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි මහතා පැවසීය.
විමර්ශනයේදී පැමිණිලි පාර්ශ්වයෙන් කරුණු දක්වමින් මහ ඇමැතිවරයාට ඇප ලබා ගැනීමට හැකි වන අයුරින් පොලිසිය බී වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි කීවේය. පොලිසියේ බී වාර්තාව වෙනස් කර සංශෝධීත බී වාර්තාවක් ඉදිරිපත් කිරීමට නිර්දේශ කරන්නැයි පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ. එමෙන්ම ජනවාරි 12 වැනි දා විදුහල්පතිනියගෙන් පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇතැයි ද, එම ප්‍රකාශය සටහන් කර ගත්තේ කුමන පදනමකින්ද යන්න පැමිණිලි පාර්ශ්වයෙන් විමසූ අතර ඊට පොලිසියෙන් නිසි පිළිතුරක් නොලැබිණි.
දෙමළ භාෂාව කතා කරන විදුහල්පතිනියගෙන් පොලිසිය සිංහල භාෂාවෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද, ඇය අධිකරණ නියෝගයක් නැතිව වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඇතැයි ද පැමිණිලිකරුවෝ කීහ. ඊට පිළිතුරුදුන් පොලිස් පරීක්ෂක කීවේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව අදාළ පුද්ගලයාගේ කැමැත්ත ඇතිව ඔහු හෝ ඇය වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ හැකි බවයි.
පළාත් අධ්‍යාපන ලේකම්වරිය ඇතුළු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස විනය බළධාරීන්ට දැනුම් දෙන ලෙස ද පැමිණිලිකරුවෝ ඉල්ලා සිටියහ.
ඌව මහ ඇමැතිවරයා විදුහල්පතිනිය සිය නිල නිවසට කැඳවනු ලැබුවේ කුමන හේතුවක් නිසාදැයි තමා දැන නොසිටි බව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය කීවාය. මහ ඇමැතිවරයා ඇය දණ නොගැස්සූ බවත්, ඔහු දිගින් දිගටම විදුහල්පතිනියගෙන් ප්‍රශ්න කරද්දී විදුහල්පතිනිය මහ ඇමැති ඉදිරිපිට වැඳ වැටුණු බව ත් පළාත් අධ්‍යාපන ලේකම්වරිය ප්‍රකාශ කළාය.
පැය 10ක් පුරා සියලු පාර්ශ්වවලින් කරුණු සටහන් කර ගත් අතර තවත් කරුණු ඇත්නම් 30 වැනිදාට පෙර දැනුම් දෙන ලෙස සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට වෙන්නේ විදුහල්පතිනිය වැරදිකාරිය වෙන එක තමයි. ඒ ශ්‍රී ලංකාවේ හැටි නේ.
මහා ඇමති නිදොස්කොට නිදහස් කරාවි, මේක ලංකාවනේ?
යුද්ධේට නැති කඩුව කොස් කොටන්නද.?
මහ ඇමති කියල නෑ නේද දණගහල වදින්න කියලා.
විදුහල්පතිතුමියට සාධාරණය ඉටුවේයැයි අපි බලාපොරොත්තු වෙමු.
මේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක රත්නායක අර ඔසරි පොටේ කේස් එකට මාරු කරපු කෙනා නේද?
පොඩ්ඩක් කලබල නැතිව ඉන්න........................තාම කඩුව මුවහත් තියනවා
කඩුවේ මුවහත්ද නැද්ද කියල අපි අවුරුදු 2 1/2 ක ඉඳන් අත්දැකීමෙන්ම දන්නවා... !
ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට දණගහන්න කිව්වට කමක් නෑ. මේ මිනිස්සු ළමයින්ට නොමනා විදියට සලකන්නේ ඉස්කෝලවල්වල. පහර දෙනවා, පන්ති කාමරයේ ඉස්සරහා දණගහන්න කියනවා. ඒකම තමයි ඇමති කරලා තියෙන්නෙත්. ඉතින් වරදක් මම දකින්නේ නෑ.
රජය ගත යුතු හරි තීරණය නම් පරීක්ෂණ අවසන් වනතුරු මහඇමතිගේ සියලු රාජකාරි අවලංගු කරන එක... කොන්ද පණ නැති මිනිස්සු තමයි මේ ගොල්ලෝ.
මහා ඇමතිගේ නොහොබිනා වැඩ ගැන සොයා නිසිදඬුවම් දෙන අතරම මේ විදුහල්පතිනිය ජාතිවාදී කියන චෝදනාවත් සොයා බලන්න...