(ඩයනා උදයංගනී)

මේ වනවිට උද්ගතව ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුවට විසඳුම් සෙවීමේ හැකියාව ඇත්තේ මෙරට කර්මාන්තකරුවාට බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

එම ගැටළුවට ඇති එකම විසඳුම ආනයන ආදේශන කර්මාන්ත ඇති කිරීම සහ විදේශ වෙළඳපොළ ජය ගත හැකි කර්මාන්තකරුවන් නිර්මාණය කිරීම යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ 'දිනන රට පුබුදන කර්මාන්ත' වැඩසටහන යටතේ නව ආයෝජකයන් සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සතු කර්මාන්තපුරයන්හි ඉඩම් ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයට සහභාගී වෙමිනි.

මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ රැකියා සොයා එන්නවුන් නොව රැකියා උත්පාදනය කිරීමට හැකි අය බව කී ඇමතිවරයා රට මුහුණ පා ඇති ආර්ථික, සමාජීය අභියෝගවලට පිළිතුරු සෙවිය හැක්කේ එසේ කිරීමෙන් බව ද පැවසීය.

මෙම වසරේ දී විශාල ආයෝජකයන් පිරිසකට නව කර්මාන්ත ඇරඹීම සඳහා ඉඩම් ලබාදීමට අවස්ථාව උදා වී ඇතැයි කී ඇමතිවරයා ඒ හරහා පෙර නොවූ විරූ ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

ඉකුත් මාස 10 ක කාලයේදී කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්තපුරවල නව කර්මාන්ත 91ක් ආරම්භ කරන්නට හැකිව ඇතැයි කී ඇමතිවරයා එම ආයෝජනවල වටිනාකම රුපියල් කෝටි 400කට අධික බව ද කීවේය.