(යොහාන් භාසුර)

විදුලි පාරිභෝගිකයන් ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලි පෞද්ගලික සමාගමට රුපියල් බිලියන 50 ක් හෙවත් රුපියල් කෝටි 5000 ක් හිඟ බිල්පත් ගෙවිය යුතු බවත් ඉන් කෝටි 4400 ක් විදුලිබල මණ්ඩලයට ද, කෝටි 600 ක් විදුලි පෞද්ගලික සමාගමට ද, ගෙවියුතු බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එම පාරිභෝගිකයන්ට මේ මස බිල ගෙවීම අනිවාර්ය කර හිඟ බිල්පත මාස තුනක් තුළ කොටස් තුනක් යටතේ ගෙවීමට අවස්ථාව ලබාදෙන බව කී ජනක රත්නායක මහතා එසේ නොමැති වුවහොත් එම ආයතන දෙක හිඟ බිල්පත් සම්බන්ධයෙන් අනුමගමනය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන විදුලිය විසන්ධි කර ඉදිරි කටයුතු කිරීමට අනුමැතිය දුන් බව ද සඳහන් කළේය.

රට ජාතික විදුලි අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාවේ පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ නියමිත බිල්පත් ගෙවා සහයෝගය දැක්විය යුතු බව ද ජනක රත්නායක මහතා කීය.