( බී.ජී.චතුරංග)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අධිකරණ වෛද්‍යවරයෙකුට අයත් පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බිඳ එහි ඔසු සලේ ගබඩා කර තිබූ වේදනා නාශක කරල් 1500 ට වැඩි ප්‍රමාණයක් සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර වයස අවුරුදු 24 සහ 26 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකි.

අනුරාධපුර මාතලේ හන්දිය ආසන්නයේ පිහිටා ඇති එම වෛද්‍ය මධ්‍යස්ථානයට ඉකුත් දා  රාත්‍රී එහි ඉදිරිපස දොර කඩ ඇතුළු වන පුද්ගලයන් දෙදෙනකු ලක්ෂ  තුනකට වැඩි එම බෙහෙත් තොගය සොරකම් කර ඇති  බවට වෛද්‍යවරයා සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන්  දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

පූජනීය පෙදෙසේ අතහැර දමා තිබූ කමතක පිදුරු ගොඩක් තුළ මෙම බෙහෙත් තොගය  සඟවා තිබියදී සොයා ගත් බවත් එම සැකකරුවන් සන්තකයේ තිබී බෙහෙත් කරල් 1520 ක ප්‍රමාණයක් තිබී හමුවූ බවද පොලීසිය සඳහන් කළේය.