ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියා කලාපීය රටවල බෝ නොවන රෝග, පාරිසරික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර  සම්බන්ධීකාරක  වශයෙන් වෛද්‍ය පාලිත මහීපාල මහතා පත්වීමෙන් පුරප්පාඩු වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය කියයි.

ඔහු අඟහරුවාදා (03) නව තනතුරේ වැඩ ඇරැඹීමට නියමිතය.

1982 වසරේ දී දන්ත වෛද්‍යවරයකු වශයෙන් රාජ්‍ය සේවයට එක් වුණු බණ්ඩාර මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි.  1984 වසරේ දන්ත චිකිත්සක විදුහලේ ආචාර්යවරයකු ලෙස කටයුතු කළ ඒ මහතා පසුව එහි විදුහල්පති ලෙස පත් විය.

1992 වසරේ දී කොළඹ විශ්ව විද්‍යාලයයේ විද්‍යාපති උපාධිය ලබා ගත් හෙතෙම 1996 වසරේ දී රත්නපුර මහ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙමින් වෛද්‍ය පරිපාලන සේවයට එක් විය.

පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් සහ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අතර සීතල යුද්ධයක් පැවැති බවට මාධ්‍ය වාර්තා පළ විය. කෙසේ වෙතත් ඒ දෙපළ එය ප්‍රතික්ෂේප කළේය. නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට වැඩි කාර්ය භාරයක් ඉටු කිරීමට වෙතියි සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි.

JB-pictur(1)