සිරාජ් හසීම් සහ එම් පරමේෂ්වරන්
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිට ඝාතනය සැලසුම් සහගතව සිදු කළ අපරාධයක් බවත්, සිසුවිය අපයෝජනය කරන අයුරු රූගත කර විකිණීමේ උත්සාහයක් තිබී ඇති බවත්, දකුණු ආසියාවේ දැරියන් හා තරුණියන් අපයෝජනයට කර ඒවායේ දර්ශන පටිගත කර අලෙවි කරමින් කෝටි ගණනින් ලාභ ලබන ව්‍යාපාරයක් මීට හේතු වී ඇති බවත් වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පැවසීය.
අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කිරීමට උත්සාහ කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කළ බවත්, රුපියල් මිලියන 20ක් ලබා දී විමර්ශන යට ගැසීමේ වෑයමක් තිබුණු බවත් ලිවේරා මහතා කීවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ විද්‍යා සිසුවිය ඝාතන සිදුවීමේ නඩු විභාගය යාපනය මහාධිකරණයේ දී අද ආරම්භ වූ අවස්ථාවේදී ය.
වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ යාපනය මහාධිකරණයේදී නඩු විභාගය ඇරැඹිණි.
2015 වසරේ මැයි මස 13 වනදා යාපනය පුංකුඩිතීව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විද්‍යා සිසුවිය (17) පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා අතුරින් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කරනු ලැබ තිබේ.
බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්, බූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් ශෂිදරන්, තිල්ලේනාදන් චන්ද්‍රකාන්ත්, ශිවදේවන් දුෂාන්ත්, පලනි රූපසිංහම් කුගනාදන්, ජෙයතරන් කෝකිලන් සහ මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් එලෙස අධි චෝදනා ලැබූ විත්තිකරුවෝය.
නියොජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතා සහ තවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරු සිව් දෙනෙක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටිති. 01, 02, 03, සහ 06 වන විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ මහින්ද ජයවර්ධන මහතා ද, 05 වන විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපතිපිල්ලේ මහතා ද, 4,7,8 සහ 9 යන විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ එස්.කේදීස්වරන් මහතා ද පෙනී සිටියහ. නව වැනි විත්තිකරු වෙනුවෙන් රජයේ නීතීඥ විග්නේෂ්වරන් ජෙයන්තා මහතා පෙනී සිටියේය.
නඩුවේ චෝදනා පත්‍රවල යම් යම් සංශෝධනයන් සිදුකළ යුතු බවත් නඩු භාණ්ඩ ලැයිස්තුවේ තවත් භාණ්ඩ පහක් ඇති බවත් තවත් සාක්ෂි 12ක් එක් කිරීමට අවසර ලැබිය යුතු බවත් දප්පුල ද ලිවේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අධිකරණය අවසර ලබා දුන්නේය. ඉන් අනතුරුව සංශෝධනය කළ චෝදනා පත්‍රය සැකකරුවන්ට කියවා දුන් අතර එම චෝදනා සැකකරුවෝ ප්‍රතික්ෂේප කළහ.
පළමු, දෙවැනි, තෙවැනි, පස්වැනි සහ සයවැනි සැකකරුවන්ට එරෙහිව පැහැරගෙන යාම, අපයෝජනයට ලක්කිරීම සහ ඝාතනය කිරීම යන චෝදනා එල්ල කර ඇති අතර සිව්වැනි,හත් වැනි, අට වැනි සහ නව වැනි සැකකරුවන්ට එරෙහිව අපරාධයට සැලසුම් කිරීම, ඊට ආධාර අනුබල දීම යන චෝදනා ඉදිරිපත් කර තිබිණි.
වැඩ බලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා කරුණු දක්වමින් මෙසේ ද කීවේය.
ලක් ඉතිහාසයේ ප්‍රථම වරට යාපනයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩු විභාගයක් පවත් වන්නේ. සැලසුම් සහගතව පැහැරගෙන ගොස්, අපයෝජනය කර විද්‍යා සිසුවිය ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය සිදු කර ඇත්තේ 2015 වසරේ මැයි මස 13 වැනි දා උදෑසන 7.30ට පමණයි. මෙය යාපනය පමණක් නොවෙයි මුළු දිවයිනම කම්පාවට පත් කරන සිද්ධියක් බවට පත්වුණා. ඝාතනය සම්බන්ධයෙන් පොලිසියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණ සිදුකරනු ලැබුවා. ඒ අනුව මෙම අපරාධය සිදු කළ නව දෙනා හඳුනා ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට නීතිපතිවරයා පූර්ණ සහායක් ලබා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කළ ආකාරය පැසසිය යුතුයි.
මෙම අපරාධයට සම්බන්ධ පිරිස් ආරක්ෂා කර ගැනීමට සමහර පිරිස් උත්සහා දරනවා. ඒ පිළිබඳවත් විමර්ශන සිදු කළා. ඒ අනුව ඔවුන්ට එරෙහිව අපි නීතිමය පියවර අරගන්නවා. මෙම අපරාධය සාමාන්‍ය මිනී මැරුමක් හෝ දූෂණයට ලක් කිරීමක් නොවෙයි. මෙය කලකට පෙර සිටම සැලසුම් කර සිදු කළ අපරාධයක්. මීට ජාත්‍යන්තර වශයෙන් සැලසුමක් තිබුණා. මෙනිසා මේක ජාත්‍යන්තර අපරාධයක් විදිහටත් කියන්න පුළුවන්. මෙය මෙරට කීර්ති නාමයට බලපෑම් එල්ල කරන්නට හැකි සිද්ධියක්.
මෙම අපරාධය සම්බන්ධයෙන් හමුවූ නඩු භාණ්ඩත්, කොන්දේසි සහිතව නීතිපතිවරයා විසින් පොදු සමාව ලබා දුන් අයගේ සාක්ෂිත් තිබෙනවා. මේ අනුව මෙකී අපරාධයේ සැලසුම්කරු වශයෙන් ඝාතනයේ නව වැනි සැකකරු හදුනාගන්න පුළුවන් වුනා. සිසුවිය අපයෝජනය කිරීම වීඩියෝ කර ජාත්‍යන්තර වෙළඳපොළට විකිණීමට උත්සහා දරා තිබෙනවා. ඔහු මෙරට උපන් අයෙකු වුවත් ස්විස්ටර්ලන්තයේ ප්‍රජා අයිතිය හිමි කෙනෙක්. ස්විස්ටර්ලන්තයේ සිට විටින් විට මෙරටට පැමිණ තිබෙනවා. මොහු ස්විස්ටර්ලන්තයේ සිටිමින් ඝාතනයේ සැකකරුවන් 06 දෙනෙකු සමගින් සම්බන්ධ වී මේ අපරාධය සැලසුම් කර තිබෙනවා.
දකුණු ආසියා රටවල දැරියන් හා තරුණියන් ලිංගික අප යෝජනයට කර ඒවා වීඩියෝ කරමින් අධික මිළකට අලෙවි කරනවා. මේ ඝාතනයේ නව වැනි විත්තිකරු මෙකී සිද්ධියෙන් මිදීමට සහාය වන්නැයි ඉල්ලමින් රුපියල් මිලියන 20ක මුදලක් පොලිස් ප්‍රධානියකු වෙත ලබා දීමට උත්සහා දරා තිබෙනවා. මෙම ඝාතනයේ 2, 3, 5 සහ 6 වැනි විත්තිකරුවන් සිසුවිය දූෂණය කර තිබෙනවා. ඔවුන් මාරුවෙන් මාරුවට මෙම සිසුවිය දූෂණය කර තිබෙනවා. 05 සහ 06 වැනි සැකකරුවන් සිය ජංගම දුරකතනවලින් එය පටිගත කරගෙන තිබෙනවා. අනතුරුව එම වීඩියෝව විදේශිකයෙකු වෙත අලෙවි කර තිබෙනවා. එම වීඩියෝව විමර්ශන සඳහා ලබා ගැනීමේ උත්සහාය ව්‍යාර්ථ වුනා. නමුත් මෙකී වීඩියෝව විකුණූ බව සනාථ වන සාක්ෂි සොයා ගැනීමට හැකි වුනා.
ඝාතනයේ 2, 3, 5 සහ 6 සැකකරුවන් සිසුවිය පාලු නිවසකදී දූෂණයට කර තිබුණා. අනතුරුව සිසුවියගේ සිරුර හමුවූ ස්ථානයට ඔසවාගෙන විත් සිසුවියගේ අත් පා බැඳ ඇයගේ ගෙල මිරිකා හුස්ම සිර කර ඝාතනය කර තියෙනවා. සිසුවියගේ හිස ප්‍රදේශයේත් තුවාල සිදුවී තිබෙනවා.
මෙම අපරාධයට නීතිය ඉදිරියේ හැකි උපරිමයෙන්ම දඩුවම් දිය යුතුයි. මෙවන් දෑ සමාජය තුළ මතු නොවෙන ආකාරයේ තීන්දුවක් ලැබේවි යැයි විශ්වාස කරනවා.‘
විද්‍යා සිසුවියගේ මව වන ශිවයෝගනාදන් සරස්වතී මහත්මිය සාක්කි දෙමින් මෙලෙස කීවාය.
‘මාගේ දියණිය දිනපතා පාසල් යන්නේ ඇගේ යතුරු පැදියෙන්. පෙරුම්බාල් කියන්නෙ මගේ පුතා. ඔහුයි වැඩිපුරම ඇයව පාසල් ගෙන යන්නේ. සමහර වෙලාවට ඇයට වැඩක් තියෙනවා නම් දුව ඇයගේ එකට ඉගෙන ගන්න යාළුවො එක්ක පාසල් යනවා. මාගේ සැමියා අංශභාගය රෝගයෙන් පෙලෙනවා. ඔහු ඉන්නෙ ඔත්පලවයි. මෙනිසා පුතා අතරමගදී පාසල් අධ්‍යාපනයත් නතර කර වැඩට යන්න පටන් ගත්තා. නිවසේ සිට පාසල් යන මාර්ගය කැලෑවෙන් හා පාළු ගෙවල්වලින් යුක්තයි. මාර්ගත් අබලන්. වැසි කාලෙට ඒ මාර්ගය භාවිතා කරන්නත් අපහසුයි.
සිද්ධිය සිදුවූ දින උදෑසන විද්‍යා දියණිය පාසලට පිටත් වුණේ උදෑසන 7.30ට. මමයි ඇයව පාරට ඇරලුවේත්. එදින ඇය හා එකට ඉගෙන ගන්න දැරියක් එක්ක පාසල් යන බව කිව්වා. එම සිසුවිය නොපැමිණි නිසා විද්‍යා තනියම පාසලට ගියා. පාසල් ගිය විද්‍යා නිවසට එන සුපුරුදු වේලාව පසුවී යාම නිසා ඇය ගැන සොයා බලන්නැයි කියල මං පුතාව පාසලට යැව්වා. එයා එහි ගිහිං පාසලේ කවුරුත් නැහැ, පාසලත් වහල කියල දුරකතනයෙන් කියුවා. ඉන් පසු ඇගේ මිතුරු මිතුරියන්ගෙන් අහද්දි ඔවුන් කියා සිටියා විද්‍යා අද පාසල් ආවේ නැහැ කියලා. ඊට පස්සේ මායි පුතායි විද්‍යා ව හොයහොයා ඇවිද්දා. හවස 6.30ට විතර කුරික්කට්ටුවාන් පොලිස් මුරපොල වෙක පැමිණිලි කරන්න ගියාම ඔවුන් පැමිණිල්ල බාර ගන්න බැහැ කියුවා. අපිට කයිඩ්ස් පොලිසියට ගියා.
ඒ අනුව රෑ 8ට විතර කයිඩ්ස් පොලිසියට ගියා පැමිණිල්ලක් දාන්න. මේ වයසේ ගෑනු ළමයි කොහේ උනත් යයි. ආයෙ එයි කියලා පොලිසිය කිව්වා. පස්සේ අපි කිව්වා අපේ දැරිය එහෙම කෙලේලෙක් නෙවෙයි කියලා. පසුවයි අපේ පැමිණිල්ල ඔවුන් සටහන් කරගත්තේ. පැමිණිල්ල දාන්න පොලිසියට ගියේ අපි ත්‍රීරෝද රථයක් හයර් කරගෙන. රෑ 10ට විතර ගෙදරට හැරිල එද්දි ත්‍රීවිල් රියදුරු කියුවා මා හැමදාම උදෑසන 7.30ට විද්‍යාව ආලඩි මංසන්දියේදී දකිනවා කියලා. එහෙත් අද(සිද්ධීය වූ දින මැයි 13) මා ඇයව දැක්කේ නැහැ. මෙනිසා ඇය අනිවාර්යෙන්ම අතුරුදහන් වෙන්න ඕන ඇයගේ නිවසත් ආලඩි මංසන්දියත් අතරතුරයි. ඒ පැත්තේ සොයා බලන්න කියල කියුවා. රෑ වීමත් වැසි ඇදහැලීමත් නිසා අපි විද්‍යාව හොයන එක අතහැරල නිවස කරා පැමිණියා. පසුදින උදෑසන 6.30ට පමණ මායි මගේ පුතයි නැවතත් විද්‍යාව සොයන්න පටන් ගත්තා. පාර දෙපැත්තට වී අපි ඇයව සෙව්වා.
මගේ පුතයි ඔහුගේ යාළුවයි අම්මා විද්‍යා කියල මහහයියෙන් කෑ ගසනවා ඇසුනා. ඒ සද්දෙට මාත් ඒ දෙසටම දිවගියා. අම්මා අපේ විද්‍යා කියලා පුතා නැවත නැවතත් කෑ ගසා අඬද්දි මාත් සිහිසුන් වුනා. මාත් එක්ක ආව අසල්වැසියා තමයි ගමේ අයත් එක්කන් ආවේ. මම විද්‍යාගේ මලසිරුර මීටර් 20ක් විතර ඇතින් ඉදලයි දැක්කේ. ළඟට යන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. පුතාත් සිහිසුන්ව ඇද වැටුණු නිසා පුතාවත් රෝහල් ගත කළා. අනතුරුව කයිඩ්ස් පොලිසියේ නිලදාරින් උදෑසන 10ට විතර සිද්ධිය වූ තැනට පැමිණියා. දේහය පරීක්ෂණ සදහා රෝහල වෙත ගෙන ගියා.‘‘
පළමු දින විභාගය අවසන් වූ අතර හෙට (29)වැනි දා නැවත සාක්ෂි විමසමින් නඩුව කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට මරණදඩුවම දුන්නත් වැඩක් නැහැනේ.. ලංකාවෙ ඉන්න කොන්ද පණ නැති නායකයෝ මරණ දඩුවමට අත්සන් කරන්නෙ නැහැනේ. ලංකාවට සිරිමා බණ්ඩාරනායකගෙන් පසුව ආපු නායකයෝ ඔක්කොම කෙලින් තීරණ ගන්න බැරි පණ නැති වැනෙන්නෝ. සිරිමා බණ්ඩාරනායක යන ස්ත්‍රී චරිතෙටත් වැඩිය අන්තයි.
ලස්සන දැරියකගේ සුන්දර තරුණ විය නොකැළැල් අනාගතය මෙලෙස කාබාසිනියා ,කල කාලකන්නි මේ මුළු සමාජයෙන්ම ඈත් කරන්න ඕන, නිතිය ඉදිරියේ මුන් බෙර ගන්න වෙර දරන නිත්මහත්වරුන්ටත් කියන්නේ මුදල් පසුපස නොයා මුන් වෙනුවෙන් කතා නොකරන ලෙස ,මේ බූරුවෝ හිතන් ඉන්නේ ගැහැණු දරුවන් මුන්ගේ සෙල්ලම් බඩු කියලා, නීතියෙන් මොන දඩුවම දුන්නත් සොබාදහම නමැති නිතිය කිසි දිනක සමාවන් නොදේවි ,මේ රටවලනම් දෙන දඩුවම ,ප්‍රසිද්දියේ එල්ල මැරීම කරන්නේ ,
වීඩියෝ කරලා විකිණුව කියල කියන එක අපරාද කරුගේ නිදහසට කරුණක් නොවන බව නීතිය දන්නෝ සිතා ගත යුතු වේ
බුදු දහම ලංකාවේ ප්‍රධාන ආගම උනාට කමක් නැ, මේ වගේ අපරාද වලට මරණ දඩුවම ලබා දෙන්න ඕනි. මොකද බුදු හාමුදුරුවෝ කවදාවත් රාජ්‍ය පාලන කටයුතු වලට බාධා කරේ නැ, අපේ දේශපලන්ඝයෝ බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධ වෙන්න යන නිසා තම මේ වගේ අපරාද වැඩි වෙන්නේ. මේක ඉතාම සැලසුම් සහගතව කරපු අපරාධයක්. මේවගේ මිනිස්සු ඉතින් මිහිපිට හිටිය කියල වැඩක් වෙන්නේ නැ.
මේක පොලව නුහුලන අපරාධයක්. මේකට සහබාගි උණු හැමෝටම උපරිම දඩුවම් ලබා දෙන්න ඕනේ . එහෙම නැතිව මෙවැනි අපරාධ වලක්වන්න බැහැ. මොවුන්ට , බල්ලෝ මරලා හරි සල්ලි ලැබෙනවානම් ඕනම ජඩ වැඩක් කරාවි. ඒ උනාට මහලොකු කුලවන්තයොලු.
මේවා සහගහන අපරාද අනිවාර්යෙන්ම පුංචි සම්බන්දකමක් තිබිනත් එල්ලලා මරන්න ඕනේ හැමෝම , දඩුවම දීල විතරක් මදි ක්‍රියාත්මක වෙන්න ඕනේ අනිවාර්යෙන්ම
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්ප නැත. විධායක බලය පාවිච්චි කළ යුත්තේ මෙවැනි අපරාද මුලිනුපුටා දැමීමට මරණ දඬුවම බලාත්මක කිරීමට මිසක් වෙන මොන කෙහෙල්මලටද ? කොහෙද අපේ නායකයන්ට එහෙම වුවමනාවක්
මෙහෙම අපරාධ කරන අයට ලෝකෙටම පෙන්න මරණ දඩුවම දෙන්න. ඇයි නඩු නැවත නැවත අහන්නේ ? දඬුවම තමයි මරණ දඬුවම... සෞදියේ වගේ කරන්න....
මරණ දඬුවම දෙන්න. රජකාළෙත් මරණ දඬුවම තිබුණා. ඒ කලේ බුද්ධාගම තිබුණේ නැද්ද? 1978 න් පස්සේ රට පාලනය කරපු අය රටේ නිතිය බාල්දු කර රට පවා දුන්නා කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ...
ගරු, අධිකරණයෙන් දෙන මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීම සඳහා රටේ නායකයාට ඇති බලය කුමක්ද ? කුමක් වුණත් අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න පිළිපදින්න. අපි සියල්ලෝම බැඳී ඉන්නවා නම් මෙම අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම, ගරු අධිකරණයට කරන අගෞරවයක් නොවේද? කියන ගැටලුව මතු වෙනවා...
අපේ රටේ මේ ප්‍රචණ්ඩත්වයට උත්තර නෑ මහත්තයෝ... මොකද කොන්ද කෙලින් තියන් , හදවතට තට්ටු කරලා ඒ ස්පන්දනය අහන්න පුළුවන් තත්වයක් අපේ රටේ නීති පද්දතියට නෑ..වරද සිදු කල මිනිසාගේ මානව හිමි කම ගැන මිසක් , මරණයට ලක් වූ පුද්ගලයාගේ ජීවත් වීමේ අයිතිය උදුරාගෙන , ඒ නැතිවුන මානව හිමිකම ගැන කෝ කතා , කෝ නීති ......එකම එක දේ ....ජනපති නියම කල දිනක .....එල්ල මැරීම කියලයි කියන්නේ ...කෝ එල්ලපු බවක් පේන්නවත් නෑ නේ .. රොබෙට් නොක්ස් ගේ පොත බැලුවනම් ...කරන්න ඕන මොනවද ,.කියල එදා අතීතය ,,අපිට පෙන්නලා දේවි ...නේද ජනපති තුමනි.