(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වතු ආශ්‍රිත ප්‍රජාව සඳහා පර්චස් දහයක ඉඩම් කැබැල්ලක් සමඟ නිවසක් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

 පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවට යොමු කරන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය  මෙම අදහස් පළ කළා ය.

දැනට ක්‍රියාත්මක නිවාස වැඩසටහන යටතේ මෙතෙක් අඩක් නිම කර ඇති නිවාස ඒකක 962ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇති බවත්, ඉන් නිවාස 629ක් ප්‍රතිලාභීන් වෙත භාර දී ඇති අතර, තවත් නිවාස 333ක් ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිත බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

"ආපදා නිවාස ව්‍යාපෘති, ඉන්දීය නිවාස ව්‍යාපෘතිය සහ වතු නිවාස ව්‍යාපෘති රජය විසින් ලබා දෙන ලද ඉඩම් මත ක්‍රියාත්මක වෙනවා. ආපදා නිවාස ව්‍යාපෘති යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා නිවාස ඒකක 392ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා.

නිවාස ඒකක 118ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ඇති අතර, එම නිවාස ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිතයි.

ඉන්දීය ප්‍රදාන යටතේ ක්‍රියාත්මක 10,000 නිවාස වැඩසටහනේ සිව්වන අදියර යටතේ, නිවාස ඒකක 1,300කින් නිවාස ඒකක 522ක ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණ කර ඇති අතර, එම නිවාස ප්‍රතිලාභීන් වෙත භාරදීමට නියමිතයි යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.