(අංජුල මහික වීරරත්න)

වත්කම් බැරකම් පනත අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයින් වාර්ෂිකව සිය වත්කම් බැරකම් ප්‍රකාශ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතුව ඇති නමුත් මේ වන තෙක් කිසිදු වෘත්තීය සමිති නායකයෙක් එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය .

ඒ අනුව ඔවුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීමට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා  සදහන් කළේය.

වත්කම් බැරකම් පනත අනුව සියලුම වෘත්තීය සමිති නායකයින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතුව තිබෙන බවද  ඒත් මේ දක්වා කිසිදු වෘත්තීය සමිති නායකයෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට රජයේ සේවකයින් ආයතන සංග්‍රහයෙන් බැදී සිටින බවද  වෘත්තීය සමිතිවලට නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ සඳහන් වන බවද අමාත්‍යවරයා කීය.

 වෘත්තීය සමිතිවල අවුරුදු විස්සක් තිහක් වැඩ කරපු අය එක දවසක්වත් තමන්ගේ රස්සාව කර නැතැයි කී ඇමතිවරයා  රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිතිවලට පුද්ගලයින් පත් කර අවුරුදු විස්සක් රාජකාරී නොකර ඉන්න වැටුප් ගෙවන එක හරිද කියා  ජනතාව තීරණය කළ යුතු බවද මනූෂ නානායක්කාර මහතා පැවසීය.

 රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කරන්නේ ජනතාවගේ බදු වලින් බවද ඒවා ඇතුලේ සාමුහික ගිවිසුම් ගසා පාඩු ලබමින් සිටියදීත් මිලියන ගණනින් අතිකාල ගන්න අවස්ථාව ලබාදීම සාධාරණදැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.