(සුජිත් හේවාජුලිගේ )

බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පි චම්පික රණවක මහතා ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවට හෙට (04) බදාදා කැඳවා ඇත.

එම කොමිෂන් සභාවෙන් රණවක මහතාට පසුගියදා නොතීසී නිකුත් කෙරිණ. ඒ අනුව ඔහු කොමිසමට කැඳවා මෙසේ ප්‍රකාශයක් සටහන් කර ගැනෙන බව එහි ආරංචි මාර්ග පවසයි.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොම්ෂන් සභාව කොමිෂන් සභාවේ අවසන් වාර්තාව දෙසැම්බර් මස මුල් සතියේදී බාරදීමට කොමිෂන් සභාව බලාපොරොත්තුවේ.

එහි නිල කාලය දෙසැම්බර් මස 16 වැනිදායින් අවසන් වීමට නියමිතය.

ඊට ප්‍රථම දෙසැම්බර් මස මුල් සතියේදී වාර්තාව බාරදීමට කොමිෂන් සභාව බලාපොරොත්තුවේ. ඊට අදාල මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

මේ අතර ගල්අඟුරු ගනුදෙනුවක් සම්බන්ධයෙන් කොමිසමට පැමිණ කරුණු ඉදිරිපත් කරන ලෙස එම ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොම්ෂන් සභාව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.සී.සී ෆර්නැන්ඩෝ මහතාට දැනුම් දී ඇතත් තවමත් ඔහු කරුණු ඉදිරිපත් කර නැතැයි වාර්තාවේ.

විදේශයක සිටින හෙයින් ඔහුට මෙම දැනුම් දීම කර ඇත්තේ ඊමේල් මාර්ගයෙනි.

ෆර්නැන්ඩෝ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කාලයක් කටයුතු කළේය.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම විවිධ ප්‍රධානීන් 72 කගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කරගෙන ඇති සංඛ්‍යාව 370කි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාටලී චම්පික රණවක මහතා පවසන්නේ ගල් අඟුරු නැවක ප්‍රමාදයක් ගැන විමසීම විනා වෙනත් කිසිදු චෝදනාවක් තමාට නැති බවයි. ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව දැනුම් දුන් බවද ඔහු කීවේය.