රේඛා තරංගනී ෆොන්සේකා

 

මොරටුවේ වඩු කාර්මිකයෝ පිරිසක් අද (7) මොරටු මහ නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවුහ.

වඩු මඩු තහනම් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් මාරාන්තික උපවාසයක නිරත වන බව උද්ඝෝෂකයෝ පවසති.

වඩු මඩු තහනම් කරන බවත් අවුරුදු පහක කාලයක් ඇතුළත වෙනත් රැකියා සොයා ගන්නා ලෙසත් ගස් කපන යන්ත්‍ර සුත්‍ර තහනම් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් කළ බව කියන ප්‍රකාශයකට විරෝධය පළකරමින් මොරටු වඩුකාර්මිකයන් මෙම විරෝධතාව දැක්වීය.

මොරටුව පුරපති සමන්ලාල් ප්‍රනාන්දු සහ නාගරික මන්ත්‍රිවරුන්ගේ සංවිධායකත්වයෙන්, එජාප විපක්ෂ නායක සේනක දමයන්ත මහතා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොරිස් විජේරත්න, නියෝජ්‍ය නගරාධිපති සමන්ත සිල්වා සහ පක්ෂ විපක්ෂ නාගරීක මන්ත්‍රීවරුන් මෙන්ම වඩු කාර්මිකයන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

ග්‍රාමසේවා වසම් 23 ක  නියෝජනය කරමින් ජනතාව මෙම විරෝධතාවයට එක්ව සිටි අතර අපේ පුටුවට අත තියලා ඔය පුටුව නැතිකර ගන්න එපා යැයි එහිදී වඩුකාර්මිකයෝ ඝෝෂා කළහ.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලුම මොරටු  ජනතාව වඩු මඩු සහ ලී බඩු අලෙවිසැල් වසා දැමීමට කටයුතු කර තිබු අතර වඩු කාර්මිකයන් බැනර් සහ විරෝධතා වැකි සඳහන් පුවරු රැගෙන විරෝධතා පෙළපාළියට එක්ව සිටියහ.

කලු කොඩි ප්‍රදර්ශනය කරමින් පෙළපාළියට එක්ව සිටි විරෝධතාකරුවන් යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් වඩුකාර්මිකයා පීඩාවට පත් කිරීම හෙළා දකින බව කීය.