(අංජුල මහික වීරරත්න)

මෙරට වී වගාවෙන්  හෙක්ටෙයාර් එකකට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණ වැඩ සටහනක් හදුන්වා දීමට හා වැඩි අස්වැන්නක් ගත හැකි බීජ වී සැකසුම් වැඩ පිළිවෙළක්  ක්‍රියාත්මක කිරීමට  යුරෝපා සංගමය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.

බට අත කෘෂිකර්ම උද්‍යානයේ  පැවැති වැඩසටහනක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 71,000 සඳහා එක් ‌ගොවියකුට යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීමට අදාලව යුරියා පොහොර ‌ තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම ද මෙහිදී සිදු කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, යුරෝපා සංගමයේ  ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති ඩෙනිස් චයිබි, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ යන මහත්වරු ඇතුලු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.