(අංජුල මහික වීරරත්න)

දිගින් දිගටම බංකොලොත් වන රට යළි නඟා සිටුවිය හැකි බවට හොඳම සහතිකය ගැනීමට හැකියාව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටකට දෙන සහතිකය පදනම් කරගනිමින් ලොව සෙසු රටවල් හා ජගත් සංවිධාන වල සහයෝගය ගැනීමට හැකි වෙතියි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දිගින් දිගටම බංකොලොත් වන රට සුරක්ෂිත කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් පියවර ගන්නැයි තමා දිගින් දිගටම කියන්නේ ඒ නිසා බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද(17) සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරතුර දී එජාප නායකයා මේ බව කීය.

දිගින් දිගටම කඩාගෙන වැටෙන බංකොලොත් රටක් ලෙස ලංකාව හංවඩු ගැසුවහොත් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමෙන් අත්වන ප්‍රතිලාභ අතිශයින් අවම විය හැකි බවද රනිල්  වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.