(නිමන්ති රණසිංහ)

එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළ කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධ නඩුවේ නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය අද (28) අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය අද (28) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

මෙම නඩුවට අදාළ නීතිපති උපදෙස් සදහා නැවත සිහි කැඳවීමක් යොමු  කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම සිද්ධිය  ලබන ජූනි මස 10 වනදා එතෙක් කල් තැබීමට නියෝග කළේය.

2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දක්වමින් හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළිනඟා  සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ .