(අංජුල මහික වීරරත්න)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සම්පාදකයෙකුගේ ඊමේල් ගිණුමක් බාහිර බලපෑමකට ලක් වීම හේතුවෙන් වංචනික ගනුදෙනුවක් සිදුවීම සහ ඉන්දියාවේදී සිදු වූ මුදල් වංචාව නිසා සිදු වූ අලාභය පියවා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන්ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සම්පාදක සමාගමක ඊමේල් ගිණුම බාහිර පාර්ශ්වයක බලපෑමට ලක් වීම හේතුවෙන් වැරදි ගනුදෙනුවක් සිදු වීම සහ  ඉන්දියාවේදී මුදල් අවභාවිතා වීම යන අවස්ථා දෙක සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කරනු ලැබේ. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සේවා සම්පාදකයෙකු විසින්, තමන් වෙත සිදුකරන ලද ඩිරාම් 974,000 ක ගෙවීමකට අදාළ මුදල් ලැබී නොමැති බව ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත දැනුම් දෙන ලදී.

 ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද සොයාබැලීම් වලදී අනාවරණය වූයේ, කිසියම් තුන්වන පාර්ශ්වයක් විසින් සැපයුම්කරුගේ ඊමේල් ගිණුම වෙත අනවසරයෙන් පිවිසී බැංකු ගිණුම් තොරතුරු වෙනස් කර, නිල සන්නිවේදන නාලිකා හරහා අමතර ලිඛිත සාක්ෂිද ඉදිරිපත් කර ඇති බවයි. තමන් නීත්‍යානුකූල සැපයුම්කරු සමඟ සෘජුව ගනුදෙනු කරන බව හැඟෙන පරිදි ශ්‍රීලංකන් ගුවන් සේවය නොමඟ යැවීමේ අරමුණින් මෙය සිදු කර තිබේ. 

මෙය අනාවරණය වීමෙන් අනතුරුව තවදුරටත් ගෙවීම් සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් වහාම පියවර ගන්නා ලද අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් මෙම සිදුවීම දැනුම් දෙන ලදී.

මේ සම්බන්ධ පරීක්ෂණ මේ වන විට ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ගෙවීම සිදුකරන ලද්දේ ඊමේල් මඟින් ලබාදෙන ලද උපදෙස් සහ ඊට අදාළ බලයලත් අත්සන් සහිත ලිපිලේඛන මත පදනම්ව බවත්, මෙම උපදෙස් ලබා දී ඇත්තේ සැපයුම්කරුගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වූ වෙනත් පාර්ශ්වයක් විසින් බව අනාවරණය වූයේ අදාළ ගෙවීම සිදුකිරීමෙන් පසුව බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය අවධාරණය කර සිටී. තවද, මෙම තත්වය ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිරව, සේවා සම්පාදකයාගේ ඊමේල් පද්ධතියේ අනාරක්ෂිත බව හේතුවෙන් උද්ගත වූවක් බැවින්, අදාළ මුදල් නොලැබීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාරගැනීම ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටා ඇති සිය කාර්යාලය තුළ සිදු වී ඇති මුදල් අවභාවිතය සම්බන්ධයෙන්ද ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට නිසි පියවර ගෙන තිබේ. එම කාර්යාලයේ මූල්‍ය අංශයේ සේවකයන් කිහිප දෙනෙකු (සියලු දෙනාම ඉන්දියානු ජාතිකයන්ය) කලක් තිස්සේ ඉන්වොයිසි, ගෙවීම් තොරතුරු සහ අත්සන් ආදිය වංචනික ලෙස වෙනස් කරමින් ඉන්දියානු රුපියල් මිලියන 22 ක මුදලක් අවභාවිතා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මෙම කාර්යාලයේ අසාමාන්‍ය ගෙවීම් සිදු වන බවට ශ්‍රී ලංකාවේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ මූල්‍ය අංශයට නිරීක්ෂණය වීමෙන් අනතුරුව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර, එම පරීක්ෂණයෙන් අනතුරුව අදාළ චෝදනාවට ලක් වී සිටි සේවකයෝ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියහ. ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් වහාම මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් වෙත පැමිණිලි කරන ලද අතර, ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.