(යොහාන් භාසුර)

රිජ්වේ ආර්යා රෝහල දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය’ට රුපියල් මිලියන 100 ක් හෙවත් රුපියල් කෝටි 10 ක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව එහි සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.  

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම මුදල එම රෝහලට ප්‍රදානය කරන බවත් එම ව්‍යාපෘතියේ ජාතික වැදගත්කම සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මෙම තීරණය ගත් බවත් සභාපතිවරයා කීය.

මෙවර එල්.පී.එල්. තරගාවලියේ හයේ සහ හතරේ පහර සහ නිපන්දු සංඛ්‍යාව අනුව ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට මුදල් රැස්කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියාත්මක කළ අතර මූලික වටයේ තරග අවසන් වන විට එම වැඩසටහනෙන් රුපියල් මිලියන 6.7 ක් රැස්ව තිබුණි.