(යොහාන් භාසුර)

ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ 4,000 කට පමණ තෙවැනි පාර්ශවයේ රක්‍ෂණ ගෙන තිබීම නිසා රියදුරකුගේ අතපසුවීමකින් බස් රථයක් අනතුරකට පත්වුවහොත් අලාභය රියදුරුගෙන් අයකර ගන්නා බව ලංගම රියදුරෝ පවසති.

මගී ජනතාව ප්‍රවාහනය කරන ලංගම බස් රථ තෙවැනි පාර්ශවයේ රක්‍ෂණ සමඟ ධාවනය කිරීම ජනතාවගේ ආරක්‍ෂාවට තර්ජනයක් බවත් පූර්ණ රක්‍ෂණයක් ගෙන තිබුණේ නම් රියදුරන්ට මෙන්ම මගී ජනතාවටත් විශේෂ ආවරණයක් ලැබෙන බවත් රියදුරෝ කියති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 4,700 ක් දිනපතා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රවාහන කරන අතර ඉන් දිනකට රුපියල් කෝටි 8 ක පමණ ආදායමක් ලබන බව ද රියදුරෝ වැඩි දුරටත් සඳහන් කරති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පැවසුවේ මගීන් සදහා පමණක් පූර්ණ රක්ෂණ ආවරණයක් ලබාගෙන ඇති බවත් බස් රථ සඳහා තෙවැනි පාර්ශවයේ රක්ෂණයක් පමණක් ගෙන ඇති බවත්ය.

අධිවේගී මාර්ගවල ධාවනය කරන ලංගම සුඛෝපභෝගී බස් රථ 80 ක් සඳහා පමණක් පූර්ණ රක්ෂණ ආවරණ ලබාගෙන ඇති බව සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.