(අංජුල මහික වීරරත්න)

ලංකාවේ රසායනාගාරවල පරීක්ෂණ කටයුතු කිරීමෙන් පසු සිය නිෂ්පාදනයක් ලෙස පොහොර වර්ග දෙකක් රජයට අයත් ලංකා පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබේ.

අලුතින් හඳුන්වා දෙන ලද මඩ පොහොර සහ බණ්ඩි පොහොර නව මිශ්‍රණ  දෙක වී,එළවළු ඇතුළු ඕනෑම බෝගයක් සඳහා සුදුසු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

වත්තල, හුණුපිටිය ලංකා පොහොර සමාගම් පරිශ්‍රයේ දී නව පොහොර  හඳුන්වා දීම සිදු කෙරුණු අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාද එම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී පොල්, කුරුඳු ඇතුළු අනෙකුත් වැවිලි බෝග සඳහා අඩු මිලට ලබා ගත හැකි මිශ්‍ර පොහොර වර්ග කීපයක් ද හඳුන්වා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් පළකළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි  ඉදිරි මහ කන්නයේ සිට පොහොර සැපයීමේ වගකීමෙන් රජය ඉවත්වීමට තීරණය කර ඇති නමුත්  ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඔවුන්ගේ ගිණුම් වලටම ලබා දෙන බවයි.

රජය පොහොර සැපයීමේ වගකීමෙන් ඉවත් වුවද පුද්ගලික සමාගම් වලට අවශ්‍ය අයුරින්  පොහොර මිල ඉහළ නැංවීම‍ට ඉඩ නොදෙන බවත්, එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මඟින් සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා අවම මිලට පොහොර අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.