(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඔන්ලයින් පනත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අනුගමනය කරන්නේ ලෝකයේ සෙසු රටවල් අනුගමනය කරන ක්‍රියාවලියම බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 

ආසියාවේ  සියලුම රටවල් පාහේ රටේ සංස්කෘතිය, ශිෂ්ටාචාර,අනාගතය සුරක්ෂිත වන පරිදි නීති රීති සම්මත කර තිබෙන බව කී අබෙිවර්ධන මහතා ලංකාව ආසියාවේ බලවත් රටක් බවට පත් කිරීමට නම් බෙදීමකින් තොරව ඔන්ලයින් පනතට සහය දිය යුතු බව සඳහන් කළේය.

ඔන්ලයින් පනත පිළිබඳ විවාදය අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව කීය.

ගමේ මරණ දැන්වීමක් අලවන විටත් අසවල් පුද්ගලයා විසින් මුද්‍රණය කළා යැයි සඳහන් කළ යුතුව තිබෙන නමුත් දැන් එවැනි වගවීමක් තිබේදැයි වජිර අබෙිවර්ධන මහතා ප්‍රශ්න කළේය.

මෙවැනි ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුව බෙදී ක්‍රියා කළ යුතු නැතැයි ද ලෝකයේ රටවල් 137ක ඔන්ලයින් පනත ක්‍රියාත්මක වෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

ඔන්ලයින් පනතට තවත් නීති ඇතුළත් කළ යුතුව තිබෙන අතර පනතින් භාෂණයේ නිදහසට කිසිම හානියක් වන්නේ නැතැයි කී අබෙිවර්ධන මහතා සෑම පුරවැසියෙක්ටම තිබෙන භාෂණයේ නිදහස ආරක්ෂා කර තිබෙන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.