(විමුක්ති එස් රුද්‍රිගු)


විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ශ්‍රී ලාංකික ජාතිකයන් සිවු දෙනකු නේපාලයට ගෙන්වා ගෙන ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන ජාතිකයන් සිවු දෙනකු අත් අඩංගුවට ගත් බවත් ඔවුන් ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාද ආරක්ෂිතව මුදාගත් බවත් නේපාල පොලිසිය පවසයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 57 හැවිරිදි සුබේර් අම්සාද්, 42 හැවිරිදි ෂා ජෙහාන් ටන්බීර්, 61 හැවිරිදි මලික් අබ්දුල් හමිඩ්, 44 හැවිරිදි අරීෆ් මසීහා යන පකිස්තාන ජාතිකයන් බව පොලිසිය කියයි.

කැනඩාවේ, රෝමනියාවේ සහ ග්‍රීසියේ රැකියා දෙන බව පවසමින් මෙම ශ්‍රී ලාංකිකයන් නේපාලයට ගේනවා ගෙන හෝටලයක රඳවා ගෙන සිට ඇති බවත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර පාකිස්තාන ජාතිකයන් ලබා ගෙන ඇති බවත් නේපාල පොලිසිය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් සිවු දෙනාට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල් සමග සම්බන්ධ වීමට ඉඩ ලබා නොදෙමින්, තර්ජනය කර වද හිංසා පමුණුවමින් පකිස්තානුවන් සිව් දෙනා ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ දරා ඇතැයි නේපාල පොලිසිය පැවැසුවේය.