(අංජුල මහික වීරරත්න)

මෙරට ලොකු ලූනු වගාව දිනෙන් දින අභාවයට යන හෙයින් නැවතත් එම  වගා කටයුතු දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ලොකු ලූනු වගාව සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මෙරට ලොකු ලූනූ වගාව වසර ගණනාවකට පෙර සාර්ථකව කෙරුනත් දැනට වසර හත අටක සිට ගොවීන්  වගා අතහැර දමන තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වී ඇත.

මෙරට වාර්ෂික ලොකු ලූණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි.නමුත් මෙම වසරේ ලොකු ලූනු  නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4716ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 මෙම වසරේ ගත වූ කාලයේ  ආනයනය කර ඇති ලූනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 131795කි.  මෙරට නිෂ්පාදනය කර ඇති ලූනු ප්‍රමාණය සහ ආනයනය කර ඇති ප්‍රමාණය සලකා බලන විට දැනට  ඇති ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 136,509ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.