(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකීය නාවිකයින් ජාත්‍යන්තර නාවික ක්ෂේත්‍රයේ රැකියා සහ පුහුණු අවස්ථා සඳහා එක්වීමේදී  මුහුණ දෙන ප්‍රධානතම බාධකයක් වන ඇමරිකා එක්සත් ජනපද  වීසා ප්‍රතික්ෂේප වීම සහ ඒ ආශ්‍රිත ගැටලු නිරාකරණය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡා මාලාවක් අරඹා තිබේ.

මෙහි පළමු සාකච්ඡාව  වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ අමාත්‍යාංශ නිලධාරීහු  සහභාගී වූහ.

මෙහිදී ප්‍රධාන වශයෙන්  ශ්‍රී ලාංකීය නාවිකයින් ජාත්‍යන්තර නැව් සමාගම් වල රැකියා සඳහා සුදුසුකම් ලැබුවද, ඔවුන්ගේ වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ  ශ්‍රී ලාංකිකයින්ට හිමි අවස්ථා අහිමි වී යාම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම වීසා ප්‍රතික්ෂේප වීමට බලපාන තාක්ෂණික සහ පරිපාලනමය හේතූන් මෙන්ම වීසා අනුමැතිය ලබා ගැනීමේදී පවතින දුෂ්කරතා පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර එම බාධාවන් ඉවත් කරගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඇමරිකානු තානාපති කාර්යාල නියෝජිත පිරිසට සිය ස්තූතිය පළ කළ අතර, මතු වී ඇති ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සෙවීම උදෙසා මෙම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කළේය.