(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කිරීම සඳහා වන "Gov HR" පද්ධතිය නිල වශයෙන් එළිදැක්වීම රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන (SLIDA) ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් දියත් කරන ලද GovHR පද්ධතිය මගින් රාජ්‍ය ආයතනවල සේවය කරන සමස්ත රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු, සේවා කළමනාකරණය සහ මානව සම්පත් පරිපාලන කටයුතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කරනු ලබයි. සාම්ප්‍රදායික කඩදාසි මත පදනම් වූ පද්ධති හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාවයන් අවම කරමින්, රාජ්‍ය සේවකයින්ගේ බඳවා ගැනීම්, ස්ථිර කිරීම්, උසස්වීම්, ස්ථාන මාරු, දේශීය හා විදේශීය පුහුණු, දුක්ගැනවිලි කළමනාකරණය, කාර්ය සාධන ඇගයීම් සහ විශ්‍රාම ගැන්වීම් දක්වා වූ සමස්ත මානව සම්පත් ක්‍රියාවලියම තනි මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් (Centralized System) යටතට ගෙන ඒම මෙම GovHR පද්ධතියේ ප්‍රධාන අරමුණයි.

එමෙන්ම මෙම තොරතුරු ඊට අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන සමග ද සෘජුව සම්බන්ධ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම පද්ධතිය මගින් සමස්ත රාජ්‍ය සේවයේ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ වගවීම තහවුරු වන අතර, ආයතනික හා ජාතික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම් වූ පසුබිමක් (Data-Driven Decision Making) නිර්මාණය වන බව අමාත්‍යංශය පවසයි.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා කීවේ දැනට ලක්ෂ 12කට ආසන්න රාජ්‍ය සේවක පිරිසක් සිටින අතර මෙම වසරේදී තවත් 120,000කට වැඩි පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි.