(අංජුල මහික වීරරත්න)

රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවැසීය.

හික්කඩුවේදී පැවැති  රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතා තරගයේදී අමාත්‍යවරයා මේ බව කීය.

ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය (SFSL) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික රළ මත ලිස්සා යාමේ තරඟාවලිය හික්කඩුව 'මේන් පොයින්ට්' (Hikkaduwa Main Point) හි දී පැවැත් විය. 

තරඟාවලියේ සමාප්ති උළෙල සඳහා සහභාගී වූ  අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ ජල ක්‍රීඩා කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ රජයේ දැක්ම පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ලබාදීමට අමාත්‍යාංශය කැපවන බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. 

මෙම තරඟාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙකු සඳහා ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් සහ ඉදිරි ලෝක මට්ටමේ තරඟ සඳහා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය ලබා දෙන බවත්,  ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා 2026 වසරේදී ජාත්‍යන්තර මට්ටමේ රළ මත ලිස්සා යාමේ තරඟාවලි කිහිපයක් ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය හා එක්ව සංවිධානය කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.