ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත‍්‍රයේ සාඩම්බර සංගීත ලකුණ ඔහුම වන්නේය. ඒ රෝහණ වීරසිංහ නමැති වූ සංගීතවේදියාය.
නර්තනයේත්, බෙර පදයේත් සංකලනයෙන් නර්තනයට සහ බෙර පදයට ජීවයක් මුසුකළ ඔහු රවි බන්ධු විද්‍යාපතිය. ශ්‍රී ලාංකීය කලා කෙතේ පුරෝගාමී චරිත දෙකක් වන මේ දෙදෙනාම පන්නිපිටිය ධර්මපාලයේ ආදි සිසුවෝ වෙති. ආදි සිසු හමුව යනු හරි සුන්දර මොහොතකි. බොහෝ විට ආදි සිසු හමු සිදුවන්නේ පාසලේ උත්සවයකදී හෝ මහා ක‍්‍රිකට් තරග අවස්ථාවකදීය. නමුත් මේ දම්පල්-විදුහල් ආදි සිසු කීර්තිමත් යුගලය එක්වීම හරි අපූරු මොහොතක් වන්නේය. දම්පල් විදුහල් මෑණියන්ට හැත්තෑපස් වසරක් පිරීම නිමිතිකොට ඒ වෙනුවෙන් මේ දෙදෙනා එකතු වූ ඒ අරුමයේ හමුවයි මේ.

රෝහණ වීරසිංහ මහතා මොකක්ද මේ හමුවෙ අරුමය?
ඇත්තටම මම රවිව අගය කරන්නෙ ඉතා ශූර නාට්‍ය ශිල්පියකු ලෙසයි. නමුත් රවි සහ මම එකම පාසලේ බව දැනගත්තෙ පසු කාලයකදියි. අපි දෙදෙනා කාල වකවානු දෙකකදී ධර්මපාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. එය අපේ මිත‍්‍රත්වයට තවත් අපූරු දෙයක් වුණා. කොහොමටත් ධර්මපාලයේ ආදි සිසු සංගමය හරි ක‍්‍රියාශීලීයි. විශේෂයෙන්ම එයාලගෙ ආදි සිසු පරපුරේ සමාජගත වූ චරිත වෙතින් දායකත්වය ලබා ගැනීමට ඔවුන් හරි ශූරයි. එයාලා පසුගිය කාලයේම මේ විදියට සංවිධානය වුණා. අපි දෙන්නගෙ දායකත්වය ලබාගෙන විද්‍යාලයීය අරමුදල් තරකර ගැනීම සඳහා ප‍්‍රසංගයක් කිරීමට. මේ එවැනි අවස්ථාවක්. නමුත් මෙහි විශේෂත්වයක් තිබෙනවා.
මොකක්ද ඒ වෙනස?
මේ ප‍්‍රසංගය නම් කරලා තිබෙන්නේ ”ස්වර්ණ යුග්ම” යනුවෙනුයි. මීට දායකත්වය ලැබෙන්නෙ අපි දෙන්නගෙම නිර්මාණ පමණයි. සමහර විට එහෙම කීවාම රසිකයින් හිතාවි මගේ සංගීත හා ගායනා නිර්මාණ සමග රවිගෙ නර්තනයන් කියලා. නමුත් ඒක එහෙම දෙයක් නෙවෙයි. සිංදුවලට නටන ප‍්‍රසංගයක් නෙවෙයි. අපි දෙදෙනාගෙම නිර්මාණාත්මක ප‍්‍රසංගයක්. එහි රසය උදෙසා ආරම්භය සහ අවසානය රසිකයින්ගේ මතකයෙන් ගිලිහී නොයන අන්දමේ ප‍්‍රසංගයක් ලෙස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
රවි බන්ධු මහතා, මේ ප‍්‍රසංගය ඔබ දකින්නෙ මොන විදියට ද? රෝහණ වීරසිංහයන්ගේ මේ එකතුව ඔබ දකින්නෙ කොහොමද?
ඒ ඔක්කෝටම කලින් මට කිව යුතුම දෙයක් තිබෙනවා. එනම් රෝහණ වීරසිංහ වැනි දැවැන්තයකු සමග මේ වගේ ප‍්‍රසංගයක් කරන්න ලැබීම ගැන. ඒක මගේ කලා ජීවිතයේ ඉතාම විරල සහ ගෞරවනීය අවස්ථාවක්.

මේ වගේ ඔබ දෙදෙනා එකතුවී ප‍්‍රසංගයක් ඉදිරිපත් කරන පළමු අවස්ථාව මෙයද?
මේ වගේ ප‍්‍රසංගයක පළමු අවස්ථාව මෙයයි. අන්න ඒ නිසයි මට මෙය වඩාත් විරල අවස්ථාවක් වන්නේ. මීට පෙර අපි ප‍්‍රසංගවලදී හමුවී තිබුණත් මේ වගේ දෙයක් කරලා තිබුණෙ නැහැ.
රවි බන්ධු ඔබ දකින විදියට එහෙමනම් මෙහි වෙනස මොකක්ද?
එක් අංශයකින් රෝහණ වීරසිංහයන්ගේ නිර්මාණ එළිදැක්වෙනවා. අනෙක් අතින් මගේ නිර්මාණත් විකාශය වෙනවා. එය නරඹන්නන් හට සුවිශේෂ වෙනසක්. මෙම ප‍්‍රසංගය නැරඹීමෙන් ඔබට ඒ වෙනස දැකගත හැකි වේවි. ප‍්‍රසංගයේ ස්වරූපය ගත්තොත් අපි දෙදෙනාගේ නිර්මාණවලට අමතරව සුනිල් එදිරිසිංහයන්, සමිතා මුදුන්කොටුව, නෙලූ අධිකාරි, අතුල අධිකාරි ගායනයටත් එක්වෙනවා. ඊට අමතරව එදාට තවත් විශේෂ දෙයකුත් සිදුවෙනවා.
රෝහණ වීරසිංහයන් ඒ වෙනස ගැන අපට කිව්වොත්?
ආකර්ශනීය පේ‍්‍රම වෘත්තාන්තයක් ලෙස අතීතයේ සිට අප සලකන ”දස්කොන්” රවිගෙ (කෙටි මුද්‍රා නාට්‍යයක් ලෙස) මේ ප‍්‍රසංගයට එක් කිරීම අපේ අරමුණ වුණා.

රවි බන්ධු, ඔබට රෝහණ වීරසිංහයන් ගැන මුල්ම මතකය ඇති වූයේ මොන හේතුවක් නිසාද?
එතුමා මනුෂ්‍යයකු ලෙස බොහෝම සෞම්‍ය, ආදරණීය, හිතාදර මිනිසෙක්. ඒ බැඳීම තමයි මට මතකයට එන්නෙ. ඒ මනුෂ්‍යත්වය පෙරදැරිව එතුමා නිර්මාණය කළ නිර්මාණ එක්ක ඊළඟට අපි එතුමාට සමීප වුණා. රෝහණ වීරසිංහ කියන පුද්ගලයා සහ ඔහුගෙ කලාව කියන දේ වෙන් කරන්න බැහැ.
එතුමාගෙ ගීත ඔබ මුමුණලා තියෙනවද?
එතුමා සුනිල් එදිරිසිංහයන්ට නිර්මාණය කළ, කළේ පැන් නැත, අමල් බිසෝ, හංස රාජිණි වැනි ලෙන්චිනා මගේ නංගියේ, එවැනි ගීත රැුසකටම මම ආසයි. මම වඩාත් සංගීතයට ලැදි නිසා පළමුව තනුව, සංගීතය ගායන මාධුර්යය ගැන මම සමීප වෙනවා. දෙවනුව තමයි රචනය ගැන හිතන්නෙ.
ඔබ රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණ ගැන එලෙස ඉහළින් කතා කළත්, රෝහණ වීරසිංහයන් බොහෝ විට එක් පිරිසකට පමණක් ඔහුගේ මාධුර්යය වූ රස සංගීතය නිර්මාණය කළ සහ කරන්නෙ බවට වූ චෝදනාවක් තියෙනවා නේද? රෝහණ වීරසිංහයනි ඔබ ඒ ගැන යමක් කිව්වොත්?
මගේ තනුවට, ගායන ශිල්පියා හෝ ශිල්පිනිය පද රචනයට අනුව ඒ සියල්ලට එහා ගිය තවත් අපූරු සංකලනයක්, නැතිනම් තම ගායනා හැකියාවෙන් තවත් යමක් එකතු කළ හැකි නම් ඒ ගීතය වඩාත් සාර්ථක වෙනවා. ඒ වාගේම වාසනාව කියන එකත් තව කාරණයක්. ඒ හැර ශිල්පියා හෝ ශිල්පිනිය අරඹයාම නිර්මාණ බිහි වන්නෙ නැහැ.
මෙම ප‍්‍රසංගය පැවැත්වෙන්නෙ?
මෙම 15 වැනිදා එනම් අද බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී සවස 7.00 ට පැවැත්වෙන්නෙ. රසිකයින්ට මෙය අපූරු අත්දැකීමක් වේවි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපළට සුබ පැතුම්! (නි)
යහපත් දේවල් කරනවිට අගය කරන්න පුරුදුවෙමු (දිල්)
දේශපාලනෙන් පැරදුනාම තම කලාව මතක් වෙන්නේ (ම)
තමාගේ දැක්ම, රුචිකත්වය අනුව තමා විශ්වාස කරන දේශපාලන පිළිවෙතකට සහය පළකිරීම, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් තුල සැබෑ අයුරින්ම තහවුරු විය යුතු පුද්ගල අයිතියක්. පුද්ගලයෙක් කළා කරුවෙක් වීම ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කිරීමට තුඩු දිය හැකි හේතුවක් වෙන්නේ කොහොමද? මගේ පුද්ගලික දේශපාලන මතිමතාන්තර රෝහණගේ දර්ශනයට වශ්‍යයෙන්ම නොගැලපුනත්, රෝහණ තමා කලාකරුවෙක් වූ පමණින් තම ප්‍රජාතාන්ත්‍රික වගකීම පැහැර නොහැරීම ගැන මම ඉතාමත් සතුටට පත්වෙනවා. මෙයයි රටට අවශ්‍ය. තව තවත් උගත්, සංවේදී, කාර්යශුර වෘත්තිකයන් තම වෘත්තීය ජිවිතයට හානි වෙතැයි බයෙන් අනුයුක්ත දේශපාලන මුදිතාවක් පස්සේ හැංගෙනවාට වඩා, තමන්ගේ මතය, අනිත් රටවැසියන් මෙන් විවෘතව පල කිරීමයි අපේ රටේ දේශපාලන අනාගතයට වඩාත් හිතකර. අනික, ලාභ ප්‍රයෝජන සඳහා පමණක්ම දේශපාලනයේ යෙදෙන අඳබාල අවස්ථාවාදීන් අතර, මේ ලාභ කිසිත් නොපතා-නොලබා, තමන්ගේ ප්‍රජා අයිතීන් අත්විඳීමෙන් පසු, තමන්ගේ ප්‍රජා යුතු කම් ඉටුකිරීමෙන් පසු, බෙර ගෙඩි ටිකක් වටකරගෙන කැමරාවට සිනාමුසුව මුහුණ දීම කොතරම් අපූරුද? (නදී)
රෝහණයන් යනු ඉතිහාසගත වෙන නාමයකි. හරවත් සංගීත රිද්මය හඳුනන මිනිසුන් ජිවත්වෙන තාක්කල් ඒ නම සුරැකේවි. දෙදෙනාටම තෙරුවන් සරණයි! (නි)
රවි බන්ධු, ඔබට සුබ පැතුම්! (නි)
හොඳ දෙයක හොඳ දකින්න පුරුදුවෙමු (නි)