2017-01-31-ent-309

සිරස සුපර් ස්ටාර් තරු මාවතේ පැමිණි සංඛ දිනෙත්ගේ 'රෝස කල්පනා' ගී ප්‍රසංගය හෙට දිනයේදී (පෙබරවාරි 05 වැනිදා) සවස 6.30ට කොළඹ බිෂොප් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. පෙබරවාරි 14 වැනිදාට යෙදී ඇති 'වැලන්ටයින්' දිනය තේමා කරගෙන පවත්වනු ලබන මෙම ප්‍රසංගය පිළිබඳව සංඛ 'තරුණයා' අපිට මෙලෙස අදහස් දැක්විය.

 

ප්‍රසංගය ගැන කතා කළොත්?

2017-01-31-ent-308පෙබරවාරි 05 වැනි ඉරිදා කොළඹ බිෂොප් ශ්‍රවණාගාරයේදී මෙම ප්‍රසංගය පැවැත්වෙනවා. සවස 6.30ට තමයි ප්‍රසංගය ආරම්භ කරන්නෙ. මා සමගින් ජනප්‍රිය ගායිකා සමිතා මුදුන්කොටුව හා සිරස %සුපර් ස්ටාර්^ රියලිටි තරගය හරහා සංගීත ක්ෂේත්‍රයට ආ මහේෂිකා ලක්මාලි %රෝස කල්පනා^ ප්‍රසංගයේ ගීත ගායනා කරනවා.

 

"රෝස කල්පනා" කියන නම දැම්මේ ඇයි?

ප්‍රසංගයේ නම තමයි "රෝස කල්පනා." මේ නම දාන්න ගොඩක්ම හේතු වුණේ මෑත කාලයේ මම මිනිස්සු අතරට ජනප්‍රිය වුණේ මගේ "රෝස කල්පනා" ගීතය. ඒ වගේම මට සම්මාන බොහෝමයක් මේ ගීතය හරහා ලැබුණා. අනික් කාරණය තමයි "රෝස කල්පනා" කියන ගීතය ආදරය සම්බන්ධව නිර්මාණය වුණ ගීතයක්. පෙබරවාරි මාසයේ පෙම්වතුන්, පෙම්වතියන් බොහෝ දෙනෙකුට වැදගත්ම දවසක්නේ "වැලන්ටයින්" දිනය. ඉතින් මට හිතුණා මේ ප්‍රසංගයට "රෝස කල්පනා" කියලා නම දාන්න.

 

මේ ප්‍රසංගයේ විශේෂත්වය?

මා මීට කලින් ප්‍රසංග කිහිපයක්ම කළා. නමුත්, "රෝස කල්පනා" ප්‍රසංගය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක්. මේ ප්‍රසංගයෙ මාත්, සමිතා අක්කාත්, මහේෂිකාත් ගායනා කරන්නේ ආදර ගීත. මා දැනට නිර්මාණය කරලා තියෙන ගීත අතරින් සියයට 90ක්ම ආදර ගීත. ඒ නිසා මගේ ගීතවල තෝරා බේරාගැනීමක් මෙහි සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ ප්‍රසංගයේ මියුසික් පැත්තෙන් ලොකු වෙනසක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රෝඩියෝවල ටි.විවල රසවිඳින සංගීත හඬට වඩා වෙනස් හඬකින් මෙහිදී මගේ ගීත රසවිඳින්න ප්‍රේක්ෂයන්ට හැකියාව තියෙනවා.

 

"රෝස කප්නා" ප්‍රසංගය තුළ නව නිර්මාණ එළිදැක්මක් තියෙනවාද?

නැහැ. ඒ වුණත් මා මීට දවසකට පෙර එළිදැක්වූ "රෑ සිහිනෙන්" කියන ගීතය මා මෙම ප්‍රසංගය තුළ ගායනා කරනවා. ඒ වගේම මම මිළඟට එළිදක්වන ගීත පිළිබඳව යම් ඉඟියක් මේ ප්‍රසංගය තුළදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙම ප්‍රසංගය තුළ මා ගීත ගායනා කරනවාට වඩා මා විසින් කළ නිර්මාණ පිළිබඳව හා මගේ පෞද්ගලික ජීවිතය ගැන මේ ප්‍රසංගය තුළදි කතා කරනවා.

 

ඔබගේ අලුත් නිර්මාණයක් එළිදකින්නේ කවදද?

තවම නම් ඒ ගැන තීරණය කරලා නැහැ. මොකද, "රෑ සිහිනෙන්" ගීතයට තවමත් රසික ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා. ගෙවුණ 2016 වසර ගත්තොත් මට වාසනාවන්ත වූ වසරක් කියලා සඳහන් කරන්න පුළුවන්. මා නිර්මාණය කළ සෑම නිර්මාණයක්ම බොහෝම ජනප්‍රිය වුණා. අදටත් බොහෝ පිරිසක් "රෝස කල්පනා" ගීතයට කැමැත්තක් දක්වනවා. මෑතකදී මා ඩුබායිහි පැවති ප්‍රසංගයකට සහභාගි වුණා. එහිදිත් "රෝස කල්පනා" ගීත ඇතුළු මගේ අනෙකුත් ගීතවලට ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා.