(රෝෂන් තුෂාර)

මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා යැයි පවසමින් බඳවාගත් සේවකයන් තිදෙනකුට ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල් වලින් වැටුප් ගෙවා රජයට පාඩු කළේ යැයි අධිකරණයට ඉදිරිපත් කළ හිටපු මුදල් ඇමැති ,පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන්වර්ෂ විතාන මහතා  නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

2015.ජනවාරි.12 සිට 2017.මැයි.22 දින දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියෙදී, සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනකු ලෙස කලු ආරච්චිගේ තිලාන් නියෝමාල් පෙරේරා, ඩී.එම්. සවිනි පිරිස් සහ කළමනාකරණ සහකාර ලෙස සුමිත් ප්‍රියන්ත සිගේරා යන අය ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවා ගෙන වැටුප් හා දීමනා ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඉහත අයට වාසියක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එම පැමිණිල්ලේ පළමු සැකකරු ලෙස ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යාමිලා පෙරේරා නම් කර තිබූ අතර එම සැකකාරියේ මීට ඉහිර දී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබිණි.

අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පළමු සැකකාරිය සමග එක්ව කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් සේවකයින්ට ලොතරැයි මණ්ඩලයෙන් වැටුප් ගෙවා එම මණ්ඩලයට කිසිදු සේවයක් ලබාගෙන නොමැති බවය . සැකකරුගෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් විය හැකි බැවින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් සංජය මාරඹේ, පසන් කරුණාරත්න මහත්වරු  සමඟ පෙනී සිටි අතර  නීතිඥ අශෝක වීරසූරිය  මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවා දායකයා අල්ලස් කොමිසම මගහැරීමක් සිදු කර නොමැති බවය.

සිය දියණියගේ විවාහ මංගල උත්සවයේ තිබෙන බැවින් දිනයක් ලබා දෙන ලෙසද ඉල්ලා ඇති බවද පැවසීය.

පසුගිය 29 වෙනි දින අල්ලස් කොමිසම සැකකරුගේ නිවසට ගියද එදින අල්ලස් කොමිසමට එන බව සැකකරු විසින් දැනුම්දී නොතිබුණ බවද පැවසීය.