ගල්කිස්ස කලාපුර යනු මෙරට කලාකරුවන්ගේ සුන්දර නවාතැන් පොළකි, සංගීත, සාහිත්‍ය, නිර්මාණ, සිනමා ආදී විවිධ කලා ක්‍ෂේත‍්‍රයන්හි විශිෂ්ඨත්වයට පත් ප‍්‍රවීණයෝ රැසක් මෙහි ජීවත් වෙති.
මමද වසර දහයක පමණ සිට කලාපුරයේ පදිංචිකරුවෙකුවීමට භාග්‍යවන්ත වූයෙමි. පොළොන්නරුවේ සිට ගායන ක්‍ෂේත‍්‍රයට පැමිණි මාහට කලාපුරයේ ඉඩමක් ලැබීම මහත් සොම්නසක් වූයේය. ගල්කිස්ස කලාපුරය පොළොන්නරුව වැනි ප‍්‍රදේශයක සිට පැමිණි මට ආගන්තුක නොවූයේ එහි තිබූ ගැමි බවට හුරු පරිසරය නිසාය. අනවශ්‍ය ඝෝෂාකාරීත්වයක් එහි නැත. සාමකාමීය, නිස්කලංකය, බොහෝ උදෑසන වලදී ව්‍යායාම පිණිස කලාපුර වටරවුමේ ඇවිද යෑම මගේ දින චර්යාවේ එක් අංගයකි. දිනක් මා එසේ ඇවිද යද්දී සාහිත්‍ය කලා ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයෙකු මට හමුවිය. ඒ මහා පඬිවර අරිසෙන් අහුබුදු කිවිසුරාණන්ය. කිවිසුරු අරිසෙන් අහුබුදු යන නාමය මා අසා තිබුණේ කුඩා කාලයේ සිටය. සුනිල් ශාන්තයන් ගයන ‘‘ලංකා ලංකා පෙම්බර ලංකා’’ නම් ගීතය ලියා තිබුණේද ‘සංදේශය’ චිත‍්‍රපටයේ සියළුම ගී ලියුවේද, එච්.ආර්.ජෝතිපාල ගයන ‘‘පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා’’ ගීත ලියුවේද මේ මහා ගේයපද රචකයා බව මම දැන සිටියෙමි.
‘‘සර් මම සින්දු කියන ජානක වික‍්‍රමසිංහ’’ යැයි එතුමාට මා කවුදැයි හඳුන්වා දුන්නෙමි.
අරිසෙන් අහුබුදු නම් මහා පඬිවරයාණෝ එදා ජානක යන මගේ නමේ අර්ථය මට වටහා දෙමින් තමන්ගේ මුල් නම ආරියසේන ආශුබෝධ බවත් එය සිංහල ඌරුවට අනුව අරිසෙන් අහුබුදු ලෙස පෙරළාගත් බවත් කීවෝය. එයින් නොනැවතුනු අහුබුදු ශූරීන් මා පුදුමයට පත් කරමින් ‘‘රාවණාට විසුළු කරන්නේ මන්දැයි’’ මගෙන් ඇසීය. එය කිසිසේත් මා බලාපොරොත්තු ව සිටි ප‍්‍රශ්නයක් නොවේ. මා විසින් ගායනා කරන ලද ‘‘බාලිකාවියන්’’ ගීතයේ පදයක ‘රාවණා ඇවිත් ඉඳිවී සෙයිලමේ ඉඳන්’ යන යෙදුම අන්තර්ගත වේ. එය අරිසෙන් අහුබුදුවන්ගේ අවධානයට ලක් වී ඇතැයි කිසිවිටක මම කල්පනා නොකළෙමි.
අරිසෙන් අහුබුදුවන් රාවණා සම්බන්ධයෙන් දැඩි ගෞරවයෙන් පසුවන්නෙකු බවත් සක්විති රාවණා නම් නාට්‍ය නිෂ්පාදනය කළේද ඒ නිසා බවත් පසුව මම දැන ගතිමි. එහෙත් ගීතයේ පද පෙළ සම්බන්ධයෙන් මා එතරම් අවධානයක් දැක්වූයේ නැත. අහුබුදු සූරීන්ගේ විමසීමෙන් අනතුරුව එහි දෝෂයක් ඇති බව මට වැටහී යන්නට විය. සිදුවී ඇති අත්වැරදීම සම්බන්ධයෙන් මම එතුමාට කණගාටුව ප‍්‍රකාශ කළෙමි.
එවිට මගේ අත වැරෙන් අල්ලා ගත් එතුමා මා කැඳවාගෙන ගියේ එතුමාගේ නිවසටය. එහි දැවැන්ත පොත් රාක්කයක් ඉදිරිපිට නතර වූ අහුබුදු සූරීන් තමන් විසින් අඳින බුද්ධ රූපයක් මා හට පෙන්වීය. තමන් විසින් රචනා කරන ලද කෘති දහයක් පමණ මා අත තැබූ එතුමෝ මේවා කියවන්න, කියවලා මාව හමුවන්න එන්න යැයි කියා සිටියහ.
එලෙස පළමු හමුවීමෙන් ම අහුබුදු සූරීන් මගේ සිත් ඇද ගත්තේය. කුඩා දරුවෙකු සේ මා හා කතා කළද ඒ මහා සාහිත්‍යවේදියෙකි, පඬිවරයෙකි. මහ ගී පද රචකයෙකි. දැවැන්තයෙකි. ඉන්පසු නිරන්තරයෙන්ම අහුබුදු ශූරීන් සමග වැඩකටයුතු කිරීමේ භාග්‍යය මට හිමිවිය. ඒ හැම අවස්ථාවකදීම ගීතයක් රචනාකොට දෙනමෙන් එතුමාගෙන් ඉල්ලා සිටියද කාලයත් සමග ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි. පසුව එතුමන් විසින් ‘පරෙවිය’ මුද්‍රා නාටකයට ලියන ලද නොගැයුණු ගී අතර තිබූ එක් ගීතයක් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මධුර තනු නිර්මාණයට අනුව ගායනා කිරීමේ භාග්‍යය මා හට හිමිවිය. වසර පනහකට පමණ ඉහතදී රචිත මෙම මුද්‍රා නාටකයේම නොගැයුණු ගී අතර වූ ගීයක් පණ්ඩිත් අමරදේවයන් විසින්ද ගායනා කර ඇත. එය ‘මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී’’ නම් වසන්ත ගීතයයි.
මා ගයන ලද ගීතය මෙසේය.
වෙළේ සුළං වැදී සෙමෙන් ඔබේ
දුහුල්ද මේ ලෙලෙන්නේ ලස්සනයි
මටත් අනේ ඔබේ දුහුල් කොනේ
සිහිල් ලබන්න දෙන්නකෝ අතක්
විලේ දිලේ පිපී කුමුන්දු මල්
හ හා ඔබේ පසන් දසන්ද ඒ
ඔබේ සිනා උසස් මැ සිත්තමයි
සිනා සිසී සිටින් සුදෝ සදා
ඉතා මැ රෝස පාට වූ ළකල්
අඹේ උපන් ඔබේ අතුල් තමා
ලියේ එයින් මගේ ගෙලේ එලෙන්
එසේ මමත් ඔබේ ගෙලේ එලෙමි
අව්‍යාජ පේ‍්‍රමන්තයෙකුගේ බසින් මෙම ගීත රචනා කරන කිවිඳුන් වෙළේ සුළං වැදී ලෙලෙන පේ‍්‍රමවන්තියගේ දුහුලේ එල්ලී සිසිලක් ලැබීමට අතක් ඉල්ලා සිටි කුමුදු මල් මෙන් දත් පෙන්වා සිනාසෙන තම පෙම්වතියගේ දසුන ඔහු තම ජීවිතයේ දකින උසස්ම සිත්තම යැයි පවසා සිටී. අඹගසේ ලා පත‍්‍ර සේ රෝස පැහැයෙන් බබළන ඇගේ අත්ල වලින් තමාගේ ගෙලේ එල්ලෙන ලෙස ඉල්ලා සිටින තරුණයා පසුව තමාද එසේම ඇගේ ගෙලේද එල්ලී සිටින්නම් යැයි පවසා සිටී.
මෙම ගීය මාහට සොයාගත හැකි වූයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පිංසිදු වීමටය. මෙම ගීතය ජූලි 18 සවස 6ට BMICH හිදී පැවැත්වීමට නියමිත අරිසෙන් අහුබුදු උපහාර උලෙලේදී ගායනා කිරීමට සැලසුම් කොට ඇත.
කොග්ගල මළලගම උපන් අහුබුදු ශූරීන් හට දෙවන ලෝක යුද සමයේදී තම ගම හැරදා ඒමට සිදුවිය. කොග්ගල උද්‍යානය අහුබුදු උද්‍යානය ලෙස නම් කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේදී එක්තරා ප‍්‍රාදේශීය දේශපාලනඥයකු පවසා ඇත්තේ ගමේ පොල් කඩන්නෙකු තරම්වත් අහුබුදු ශූරීන් ගමට සේවයක් සිදු කර නොමැති බවය. වර්තමානයේ සමහර ප‍්‍රාදේශීය දේශපාලනඥයින් තම නායකත්වයට ද පක්‍ෂයට ද නිගරු කරමින් හැසිරෙන අයුරු දුටු විට මෙවන් වදන් ඇසීමට ලැබීමද එතරම් විමතියට පත්වීමට කරුණක් නොවේය. එනමුදු රත්න ශ්‍රී කිවිඳුන් විසින් රචිත ලක්‍ෂ්මන් විජේසේකරයන් විසින් සංගීතවත් කළ මා විසින් ගායනා කරන ලද අහුබුදු උපහාර ගීතයෙන් ඔහු ගැන මොනවට පැහැදිලි වේ.
දෙස බසට රැසට බැඳි සෙනෙහසින්
කළ මෙහෙය සමරමුව තුති ගොසින්
මහා කිවි අරීසෙන් අහුබුදුනි
නියාමක වදනිසුරු ඇදුරිඳුනි
ඔබේ කිත් යස කළඹ දුල් නිමල්
වැවේ නිබඳව වෙමින් පුල් විපුල්
ලිවිසැරිය රැලි නගන රුවනාර
කිවිඳගෙන මිණි වරුන් අතනෑර
සැදූ හෙළ කිරුළු හිස මනහාර
මහා මෙහෙවරට ලෝ උපහාර
ලියූ ගී කව්හි රැඳි රස පාස
නිවාලිය සුළවතුන් ළය දෑස
දයාබර වත රැඳුණු මඳහාස
කියාගත නුහුණු කවි දස දාස
සොබා දහමේ පියා හිරු ලෙසත් මව සඳු ලෙසත් සලකන ජීවිතයේ කිසිඳු ලෙස අනුන් නොරිදවූ අහුබුදු ශූරීන්ගෙන් මෙරටට සිදුවූ මෙහෙවර අතිමහත්ය. දස අකුසලයෙන් මිදී දස කුසල් රැස් කරමින් භාවනායෝගීව ජීවත් වු අරිසෙන් අහුබුදු ශූරීන් හට නිවන් සම්පත්තිය හිමිවේවායි ප‍්‍රාර්ථනා කර සිටිමි.
ජානක වික‍්‍රමසිංහ |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දත් විලිස්සාගෙන හිනා වෙමින් සුදු පවුඩර් උලාගෙන නිතර පත්තර වල දකින්න ලැබෙන අපේ දේශපාලක මුහුණු වලට වඩා ඔබේ රුව මෙතුලින් දැකීම පවා මාගේ ආයුෂ යම් පමණකින් හෝ දිගු වුනා ලෙස දැනෙන මහත් ප්‍රීතියක් ඇතිවුනා. (නි)
මෙවන් උතුම් පඬිරුවනක් ගැන නැවත පුවත් පතකින් කියවන්න ලැබීමත් භාග්‍යයක්. (ස)
අර දේශපාලඥයාගේ කතාව කොහොමද?(නදී)
ඔබ දන්නවාද? කළාශූරීන්ට පැවරූ ගල්කිස්සේ කළාපුර ඉඩම්, මේ ළඟදී ආපහු ගැසට් නිවේදනයකින් යූ.ඩී.ඒ එකටම පවරාගෙන. එය අත් වැරැද්දක් කියලා කියනවා. නමුත්, එම අත් වැරැද්ද නිවැරදි කරලා දෙන්න යූ.ඩී.ඒ එකේ ඉන්නා නිලදාරීන් කිහිප දෙනෙක් එක කළාකරුවාගෙන් ලක්ෂ 5 දක්වා පගාව ඉල්ලනවා. මේ අසාධාරණය ගැන කාට හරි පුලුවන්ද ඝෝටාභය රාජපක්‍ෂ මහතාට දන්වන්න.
එතුමාගේ සාකච්චා වලට සවන් දෙනකොට අපිටත් ඉබේම හොඳ දැනුමක් ලැබෙනවා. (ස)
80 දශකයේ මුල් භාගයේ මෙතුමා පදිංචිව හිටියේ දෙහිවල. මම අධ්‍යාපනය ලැබූ දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විද්‍යාලයේ පාසල් ගීතයේ පද රචනය මෙතුමාගේ. මෙතුමාගේ මිනිපිරියක් මගේ පාසල් මිතුරියක් නිසා මමද මෙතුමා මුණගැසී, කතාබහ කර තිබෙනවා. ඉතාම නිහතමානි, දැනුම් සම්භාරයකින් පෝෂිත වියතෙක්. මෙවැන්නන් පිලිබඳ, ඔවුන් කල සේවය පිලිබඳ ආවර්ජනය කිරීම ඉතාම වටිනා වැඩක්. මොවුන් ජාතියේ පිනට පහලවූවන්. (නි)
මෙතුමා පඬි රුවනකි. හෙළ බස පිලිබඳ වියතෙකි. උපන් රටට මහා සේවයක් කල අයෙකි. යුද්ධය කාලේ හැම මෙහෙයුමකටම නම් තැබුවේ මෙතුමා. රටේ ළමයි දස දහස් ගණනකට නම් තියල ඇති. වික්ටර් රත්නායක මහතාගේ මුල්ම ගී පද පවා මෙතුමාගේ. "රුවන් නිදන හෙලබිමයි" වගේ ගීත ඇසෙනවිට මෙවන් පඬි රුවනක් අපට හිටය කියල ආඩම්බර වෙන්න පුළුවනි. මෙතුමා ඉතාම නිහතමානි අයෙකු බව මමද ඇත දැකීමෙන් දනිමි. මම අදටත් දුක්වෙනවා මේ තරම් බස පිලිබඳ උගතකු උනත් ලංකාවේ කිසිම විශව විද්‍යාලයකින් ඇයි මෙතුමාට ආචාර්ය උපාධියක් නොදුන්නේ කියල. අද කිසිම සේවයක් නොකළ අයටත් එවැනි දේ ලැබුනත් මෙතුමාට නොලබුනේ ඇයි කියන එක මට අදත් ප්‍රශ්නයක්. රාවණට ඇලුම් කල ඔහු රාවණ පරපුරේ අයකු විය යුතුයි. රට ගැන මහත් අභිමානයක් තිබුන රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළ මෙවන් පඬිවරු මතු පරපුරට මහත් ආලෝකයකි. (අ)
මෙතුමා සිංහල භාෂාවට ඉතාම වටිනා සේවයක් කල පඩිවරයෙක්. නමුත් මෙතුමාගේ අවසන් කාලයේ එතුමාගේ දුවණිය මෙතුමාගේ ප්‍රසිධිය සහ දැනුම වියාපාරයක් බවට පත්කරගෙන මුදල් සෙවීම තමයි කලේ. ගතින් අබල දුබල නිසා ඒවා විද දරාගෙන මෙතුමා ජිවත් උනා.(නදී)
රවන රජතුමා ඉපදුනේ බෙන්තර ගගෙන් එහා (දී)
කලාපුරයේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාය. එහි සියලු බිම් කොටස් දුන්නේ කලාකරුවන්ටය. (නි)
දේශපාලකයා ඉන් අදහස් කරනුයේ ගමට සේවයක් වීම නොව තමන්ගේ ප්‍රගමනයට පන්දමක් නොලැබීමය. ඔවුන්ට ජාතියට, දේශයට සේවයක් වීම අවශ්‍ය නොවේ. අද බොහෝ දේශපාලකයෝ වියලි ගොම රිටිය.(නදී)
මෙතුමා වචනයේ පරිසමාප්තියෙන්ම සිංහ ලය ඇත්තෙක් , බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඉපිදෑ, රට පුරාම සේවය කර, නිදහස්,නිවහල් දිවියක් ගත කල මෙතුමාට සියල්ලෝම ගරු කලෝය. දේශපාලනයක් ඔහුට නොවීය. එහෙත් සියලු දේශපාලකයෝ ඔහුට ගරු කලෝය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පැවිද්දන් හැර තම දෙදන නමා වැන්දේ ඔහුට පමණය. ඉන් අදහස් වුයේ ඔහු කාගේත් බුහුමනට ලක් වූ බවය. ඉතිහාසය සාහිත්‍යය රසාස්වාදය හස්ස්‍යය ඔහුට රුචි අහරවිය එයින් ඔහු තව තවත් පෝෂණය විය. අපද රටද පුළුවන් හැටියට ඉන් පෝෂණය කරවිය මතුපරපුරටද මුතු මෙන් යමක් ඉතිරි කොට තබා ඇත. ඔහු ගුරු කුමාරතුංගයන්ගේ නමද ඔහු මොනවට රැක්කේය. ඔහු සබියෙකි (අසබියෙක් නොවේ) ඔහු නැවත මෙහිම ඉපදීමට පින් ඇත්තේය. පියාණනි ඔබට පින් සිදු වේවා.(නදී)
මෙන්න මිනිස්සු.(නදී)
සරල බවද ඔහුට මිහිරි පානයක්වීය.(නදී)
1996 මමත් ඔබතුමා අතින් සහතික ලබල තියෙනවා.එදත් ඔහු අද වගේමයි. (නි)
රාවනා රජතුමා තමිල්නාඩු රාමායනයේ වීරයා කියා අසා තියෙනවා. ඉතිහාසයේ පළමුවරට අහස් යානාවක් ගෙන ආවේ ඒ අපේ රාවනා රජතුමාගේ දඩු මොනරෙයි. පස්සේ තමයි රීඩ් සහෝදරයෝ අපේ තාක්ෂනය අරන් අහස් යානාව නිපද වූවේ. අපේ රාවනා රජ තහයි එහි පුරෝගාමියා.(නදී)
"එක්තරා ප‍්‍රාදේශීය දේශපාලනඥයකු පවසා ඇත්තේ ගමේ පොල් කඩන්නෙකු තරම්වත් අහුබුදු ශූරීන් ගමට සේවයක් සිදු කර නොමැති බවය." ඇත්ත. පොල් ගස් නගින්න හැකියාවක් හෝ ශරීර ශක්තියක් අහුබුදු මහතාට තිබුණා කියා මම හිතන් නෑ. ඔහු මොලය භාවිතයෙන් වැඩ කළා මිස හැඩිදැඩි පුරුෂයෙක් නොවේ. එතුමා භාෂාවට හා කලාවට කල සේවය කල හැකි පොල් කඩන්නෙක් ඉන්නවද කියා ඒ දේශපාලකතුමාගෙනම ඇසිය යුතුයි. (අ)
සජීවී භාෂාවක් රැකගන්නේ එය මව් භාෂාව කරගත් ජනතාව මිස භාෂා විශාරද පණ්ඩිතයින් නොවේ. එවැන්නන් කරනුයේ ජනතාව ගොඩනගා රැකගත් භාෂාව තුලින් වැජබෙමින් අවසානයේ එය කනත්තට දක්කා ගෙන යාමයි. (නි)
අපේ රාවණ රජු ගැන අපව දැනුම්වත් කළාට ඔබ තුමාට පින් ස්තුතියි (අ)