( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් යන මහත්වරුන් ඇතුළු 7 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් විභාගයට ගැනීම මාර්තු 26 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (2 ) තීන්දු කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකක දී රජයට අයත් රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මොවුනට එරෙහිව වරෙන්තු නිකුත් කර තිබිණි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවිණි.
මෙම පෙත්සම් ඉකුත් දෙසැම්බර් මස 18 වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබුණත් අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයේ පැවති නිරෝධායන ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් එය විභාග කිරීමක් සිදු නොවිණි.
ඒ අනුව එම පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (2) කැඳවූ අවස්ථාවේ දී එය යළි මාර්තු 26 වැනිදා විභාගයට ගැනීමට දින නියම කෙරුණි.
තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක , පර්පචුවල් ටෙෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝෂියස්, එම සමාගමේ විධායක අධ්‍යක්ෂ කසුන් පළිසේන , එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් , චිත්ත රංජන් හුළුගල්ල , මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන සංගරපිල්ලෙයි පද්මනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින් ගොනු කළ රිට් පෙත්සම් ගොනු කරනු ලැබූහ.
නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති සි.ඩී.වික්‍රමරත්න , කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරයා යන අය නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් මඟින් කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 52 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් ඉකුත් වසරේ මාර්තු 06 වැනිදා වරෙන්තු නිකුත් කළ බවයි.
මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමති නීතිමය මූලධර්මයට පටහැනිව බව පෙත්සම්කරුවෝ සිය පෙත්සම් මඟින් පෙන්වා දෙති.
එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා , රියන්සි අර්සකුලරත්න , නවීන් මාරපන යන මහත්වරුන් පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට තාම වරන්තු පිට ඉන්නවා වගේ....
තව ටික දවසකින් මෙයාගේ පැත්තටත් කමෙන්ට්ස් දාන්න අය ඉඳියි.