(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

සයිටම් විරෝධී උද්ඝෝෂණයකදී සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළ වලට අලාභයක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත්ට ඇප ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත ලබන 9 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද(2) නියම කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට සිටින මරදාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට, කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට හා නීතීපතිවරයාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළිත් වරක් සිතාසි නිකුත් කෙරිණි.

රයන් ජයලත්ට ඇප ලබාදීම සම්බන්දයෙන් විරෝධතාවයන් ඇත්නම් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

රයන් ජයලත්ට ඇප ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත්වරියගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළත් ඇය එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරමින් ඔහු රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට නියම කොට ඇතැයි දැනුම් දුන් නීතීඥවරුන් මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරමින්  ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.