(රංජිත් රාජපක්ෂ)                      

නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටිමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු , මගින් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (09) නාවලපිටිය දොලොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය උඩුවැල්ල ප්‍රදේශයේදිය.

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබු අවස්තාවේ බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමගම බස් රථය රියදුරු පාලනයෙන් මිදිමත් සමග බස් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අභියස පිහිටි කන්දක ගැටිමට සලස්සවා බස් රථය නතර කරගෙන ඇති බව අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසිය.

බස් රථය අනතුරට පත් වු ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මිටර් 300 ක පමණ අධික බැවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරලිම වලක්වා ගනිමින් සිදු විමට ගිය විශාල අනතුරක් වලක්වාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේය.