(ඩී.ජී.සුගතපාල, සුමතිපාල දීයගහගේ)

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා නැවත ගාල්ල බන්ධනාගාරය වෙත ගෙන එමින් සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි අද දහවල් පලා‍ගොස් ඇත.

මෙසේ පලාගොස් ඇත්තේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය  රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි ගාල්ල ආනන්ගොඩ ආරච්චිගෙවත්ත පදිංචිකරුවකු වන ලියනගේ දමිත් කුමාරද සිල්වා නමැති 28හැවිරිදි සැකකරුවෙකි.

වරෙන්තු 9ක් ලබා සිටි මෙම සැකකරු ගෙවල් පහක් බිඳ දේපල සොකරම් කිරිම සම්බන්ධයෙන් අක්මිමණ පොලිසිය  අත් අඩංගුවට ගෙන 16 වනදින අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදි සැකකරු 23 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

සැකකරු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කරන ලදි.

මේ අතර සැකකරුට හදිසියේ ඇතිවු අසනිප තත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලේ 58 වාට්ටු‍වට ඇතුලත් කර ටිකට් කැපිමෙන් පසුව නැවත බන්ධනාගාරවෙත රැගෙන එමින් සිටියදි කලේගාන ප්‍රදේශයේදි බන්ධනාගාර බස් රථය වේගය අඩු කරන ලද අවස්ථාවක බන්ධනාගාර නිලධාරියකුද තල්ලු කරගෙන බිමට පැන පලාගොස් ඇත.

බන්ධනාගාර නිලධාරින් සහ ගාල්ල පොලිසිය එක්ව සැකකරු සොයා මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්බ කර ඇත.