(යොහාන් භාසුර)

රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් ‘කුෂ්’ ගංජා ග්‍රෑම් 1590 ක් සහ මත්පෙති 601 ක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.  

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක පාර්සල් 8 ක් පරීක්‍ෂා කළ බවත් විවෘත කළ පාර්සල්  තුළ ‘කුෂ්’ ගංජා ග්‍රෑම් 1590 ක් සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති 601 ක් සොයාගත් බවත් රේගුව පවසයි.  

එම පාර්සල්  බි්‍රතාන්‍යය, කැනඩාව සහ ජර්මනියේ  සිට  කොළඹ, ගම්පහ සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත ව්‍යාජ ලිපිනයන්ට එවා තිබූ බවත් පරීක්ෂණ කටයුතු අවසානයේ  මෙම මත්ද්‍රව්‍ය  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට බවත් රේගුව කීය.

මෙම මෙහෙයුම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ තැපැල්  දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ ඒකාබද්ධව ක්‍රියාත්මක කළහ.