(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විධිමත් ක්‍රමවේදයකින් තොරව බරපතල විෂමතා සහිතව රූපවාහිනී සහ ගුවන් විදුලි බලපත්‍ර ලබා දුන් අවස්ථා ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඉහළ මාධ්‍ය සංස්කෘතියක් ඇති වන ආකාරයට බලපත් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් විශේෂ අවසරයක් ඉල්ලා සිටි බවද කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුකාරක සභාවක් පත් කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව සකස් කළ විද්‍යුත් ප්‍රකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධ කටයුතු බොහෝ දුරට අවසන් කර තිබෙන අතර විනිවිද පෙනෙන ආකාරයට බලපත් ලබාදීම සඳහා නෛතික ක්‍රියාවලිය එයින් සකසන බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් අනුකාරක සභාවේ සභාපතිත්වය දරන බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

ලංකාවෙි මේ වන විට රූපවාහිනී ආයතන 25 ක් සහ ගුවන් විදුලිය ආයතන 51ක් තිබෙන බව ද ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසූයේ අදාල කෙටුම්පත සකස් කරමින් සිටින අතර තව සතියක් දෙකක් යන විට මාධ්‍ය ආයතන වලටත් අදාල කෙටුම්පත ලබාදී සාකච්ඡා කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීය.