(නිමල කොඩිතුවක්කු)

නිදහස් දිනයේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය  රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(03) පැවසීය. 

මනුෂ්‍යත්වයට මුල් තැන දී මානව හිතවාදි නායකයෙකු වන රන්ජන් රාමනායක මහතා නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලීමක් කරන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයට ගොස් සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.

"කලාකරුවෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉස්ට කරමින් සිටියා. ඒ වගේම දේශපාන විදිහටත් එතුමා මේ රටට විශාල සේවයක් කළා.  රන්ජන් රාමනායක මහතා ඉෂ්ට කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක්.  එවැනි මානව හිතවාදී නායකයෙක් වන රන්ජන් රාමනායක මහතාට  නිදහස් දවසේ දී  පූර්ණ  නිදහස ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදි නායකයෙකු වන රන්ජන් රාමනායක මහතාට  පූර්ණ නිදහස දී එතුමාව නිදහස් කරන්න කියා අපි ජනාධිපතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලා සිටිනවා” යැයි විපක්ෂ නායකවරයා  පැවසීය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ද එක්ව සිටියහ.